විකුම්ට විකට් 3යි

  👤  3546 readers have read this article !
By mawbima 2017-02-16

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායම අතර ඊයේ කැන්බරා මනුකා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති විස්සයි-20 පුහුණු ක්‍රිකට් තරගයෙන් කඩුලු 05 ක ජයක් හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත විස්සයි තරගාවලියට යන ගමනේ පෙරහුරුව සාර්ථක කර ගත්තේය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක උපුල් තරංගගේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 20 අවසන කඩුලු 6කට ලකුණු 169ක් රැස් කළ අතර පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 17.1 කදී කඩුලු 05 ක් පමණක් දැවී ලකුණු 170ක් රැස් කරමින් ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

නවක ක්‍රීඩක විකුම් සංජය සහ වසරකට පසු ජාත්‍යන්තර පිටියට පිවිසි ලසිත් මාලිංගද ඇතුළත්ව පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් කැපීපෙනෙන දස්කම් දැක්වූ නිරෝෂන් දික්වැල්ල ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිස වේගවත් ලකුණු 47 ක් රැස් කරමින් දස්කම් දැක්වීමට සමත්වූ අතර නවක වේග පන්දු යවන්නකු වන විකුම් සංජය පන්දුවාර 4 තුළ ලකුණු 26කට කඩුලු 3ක් සහ ලසිත් මාලිංග පළමු පන්දුවාරයේ 4 වැනි පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගනිමින් පන්දුවාර 4කදී ලකුණු 26ක් පමණක් ලබා දුනි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා මුළු ලකුණු 6ක්ව තිබියදී දවා ගැනීමට මාලිංග සහ විකුම් සමත්වූ අතර අංක තුන පිතිකරු සෑම් හීස්ලට් සහ අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි නායක ඇඩම් වෝජස් වර්තා කළ අර්ධ ශතක හේතුවෙන් අභියෝගාත්මක ලකුණු පුවරුවක් ලබා දීමට ඕස්ට්‍රේලියානුවන්ට හැකි විය.

නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග පළමු කඩුල්ල වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබා දෙමින් ලකුණු 70ක සබඳතාවක් ගොඩනැඟූ අතර දික්වැල්ලගේ දැවී යෑමෙන් පසු තරංග සමඟ එක්වූයේ ඩිල්ෂාන් මුනවීරය. ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 53ක සබඳතාවක් ගොඩ නඟමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත පහසු කළ අතර තරගය නිමාවන විට උපුල් තරංග පන්දු 33 කදී හතරේ පහර 01 ක් හා හයේ පහර 02 ක් සමඟින් ලකුණු 47ක් ලබා නොදැවී සිටි අතර ඩිල්ෂාන් මුනවීර සහ මිලින්ද සිරිවර්ධන යන දෙදෙනාද පිළිවෙළින් ලකුණු 32 හා 25 බැගින් ලබා දස්කම් දැක්වීය.

සටහන - කෝසල ගමගේ

තරග සාරාංශය
ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායම (පන්දුවාර 20කදී කඩුලු 6කට) _ 169
(සෑම් හීස්ලට් 58, ඇඩම් වොජස් 54,
ලසිත් මාලිංග 26/1, විකුම් සංජය 26/3,
ඉසුරු උදාන 50/1)
ශ්‍රී ලංකාව (පන්දුවාර 17.1 කදී කඩුලු 5 කට) - 170 (නිරෝෂන් දික්වැල්ල 47,
උපුල් තරංග නොදැවී 47, ඩිල්ෂාන් මුනවීර 32, මිලින්ද සිරිවර්ධන 25, ඩි ආකි ශෝට් 19/2)

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon