ප්‍රසිද්ධ විවාදයක් පවත්වමු ගම්මන්පිලගෙන් රවිට ආරාධනා

  👤  3483 readers have read this article !
By mawbima 2017-02-16

හර්ෂනී අර්සකුලරත්න

යහපාලන රජයේ ටොප් 10 දූෂණ හෙළිදරව්වේ 8 වැනි අවස්ථාව දෙවැනි වතාවටත් හිමි කරගන්නේ මුදල් ඇමැති රවි කරුණානායක බවත් මේ ඉදිරිපත් කරන කාරණයේ වංචාවක් නැතිනම් තනි තනියෙන් මාධ්‍ය හමු පවත්වා පාළුගෙයි වළං බිඳිනවා වෙනුවට තමා සමඟ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්න යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසයි. මන්ත්‍රිවරයා මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (15) ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව අමතමිනි.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය. "රජයේ සුරබිදෙන තමයි රේගුව. ආණ්ඩුවේ ආදායමෙන් 60%ක් සපයන්නේ රේගුව. අපේ රටේ ජනතාවගේ පඩි, විශ්‍රාම වැටුප්, සමෘද්ධි වැනි ගෙවීම් කරන්නේ රේගුව වැනි ආයතන ආණ්ඩුවට උපයා දෙන මුදලින්. නමුත් ආණ්ඩුවේ බලධාරීන්ගේ වංචා නිසා පසුගිය වසර දෙක තුළ රේගුවට අහිමි වුණු ආදායම රුපියල් මිලියන 25,000කට වැඩියි. එයින් මිලියන 6,500ක් අහිමි වුණු ආකාරය තමයි අද මේ පහදන්නේ.

හර්ෂ ප්‍රභාත් සිල්වා කියන්නේ පිටරටදී වාහන කෑලි කර ලංකාවේදී පාස්සා විකිණීමේ ව්‍යාපාරයක් කරගෙන ගිය කෙනෙක්. 1998දී රේගුව මේක වටලනවා. මීට එරෙහිව ඔහු රිට් 1124/98 යන නඩුව ගොනු කළත් වාහන කැබලි කර ආනයනය කර නැවත පාස්සා විකුණන්නේ නම් සම්පූර්ණ වාහනයක් ආනයනයේදී ගෙවිය යුතු දැවැන්ත බදු මඟ හැරීමේ කූට අරමුණින් බැවින් මේ කොටස් සඳහා සම්පූර්ණ වාහනයකට අදාළ බදු ගෙවිය යුතු බවට උසාවිය තීන්දු කළා.

ඉන් පසුව දේශීයව 30%ක වටිනාකමක් ඊට එකතු කරනවා යන කොන්දේසිය මත වෙහිකල්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් නමින් ආයෝජන මණ්ඩලයේ අනුමත සමාගමක් ඔහු ආරම්භ කළ අතර පාවිච්චි කළ වාහන කොටස් එකලස් කර වාහන නිපදවීමයි මේ සමාගමෙන් සිදුවන්නේ. නමුත් එම නව වාහනය ලියාපදිංචි කිරීම නීතියෙන් තහනම්. ඒ නිසා ලියාපදිංචි කිරීම මෝටර් රථ කොමසාරිස් ප්‍රතික්ෂේප කරනවා. ඒ තීරණය අභියෝගයට ලක් කරලා ඔහු ශේ‍ර්ෂ්ඨාධිකරණයේ එස් සී එෆ් ආර් 304/2011 යන නඩුව පැවරීම සිදු කරනවා. ඒ නඩුවේදී අමාත්‍යාංශය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත යැයි පවසමින් දෙපාර්ශ්වය අතර සමථයක් විදියට වාහන 2250ක් ලියාපදිංචි කරන්න එකඟ වෙනවා.
එතැනදී එකඟවුණේ වාහන ලියාපදිංචි කිරීමට පමණක් වුවත් ඒ සමථය පෙන්වා ආනයන පාලක නොමඟ යවා වාහන 2250ක් සඳහා අවශ්‍ය වාහන කොටස් ආනයනය කිරීමට ඔහු බලපත්‍රයක් ගෙන තිබෙනවා. නමුත් ඒ යටතේ ගෙනා වාහන කොටස් රේගුව රඳවාගෙන තිබෙනවා. සමථයේදී වාහන කොටස් ගෙන්වීමට අවසර නොදුන් නිසා රිට් 1124/98 නඩුවේ තීන්දුව අනුව සම්පූර්ණ වාහනයකට අදාළ තීරු බදු ගෙවිය යුතු බවට රේගුව ඒ අවස්ථාවේ තීරණය කරනවා.

2015 ආණ්ඩු පෙරළියෙන් පසු නව මුදල් ඇමැති මොකද කරන්නේ 2016 අය-වැය කතාවෙදී අය-වැය යෝජනා අංක 560 ලෙස ලියාපදිංචි කර නොමැති වාහන ලියාපදිංචි කිරීමට අවස්ථාව ලබාදීමට යෝජනා කරනවා. එතැනින් නතර නොවී 2016/09/30 දින 16/1586/719/103 දරන ඇමැති මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරමින් වෙහිකල් ලංකා සමාගමට 304/2011 නඩු තීන්දුව අනුව කටයුතු කරන මෙන් නිර්දේශ කරනවා. ඇත්තෙන්ම ඇමැතිවරයා මෙයින් උත්සාහ කළේ නඩු තීන්දුව පෙන්වමින් ඇමැති මණ්ඩලයද නොමඟ යැවීමටයි.

රේගු නිලධාරීන්ගේ ගණනය කිරීම් අනුව වාහන කැබලි මත අය කරන බදු අය කළොත් එක් වාහනයකට බදු ගෙවන්න වෙන්නේ රුපියල් 661,268ක්. නමුත් 1300 සීසී කුඩාම වාහනයකටත් රුපියල් 35,75,000ක් බදු ගෙවන්න වෙනවා. ඒ අනුව එක වාහනයකින් අවම පාඩුව රු. 29,13,732යි. වාහන 2250කට පාඩුව 6,555,897,000යි. ඒත් ඔක්කොම 1300 සීසී වාහන නෙවෙයිනේ ගෙන්වන්නේ. ඒ නිසා මේ පාඩුව බිලියන 6.6 සිට බිලියන 25 දක්වා ඉහළ යන්න පුළුවන්. අද අපි අල්ලස් කොමිසමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් රවි කරුණානායකට එරෙහිව පැමිණිලි කරනවා. අපට තිබෙන තොරතුරුවලට අනුව ඊයේ ඇමැති මණ්ඩලය ඒ පත්‍රිකාව අධ්‍යයනය කරන්න අවශ්‍ය යැයි කල් ඉල්ලා තිබෙනවා. ඇමැති මණ්ඩලයටම අපි කියනවා දැන හෝ නොදැන මේ මහා වංචාවේ කොටස්කරුවන් වෙන්න එපා. ඒක එක් පාප කර්මයක් විතරක් නෙවෙයි හිරේ විලංගුවේ වැටෙන වංචාවක්.

එහිදී අදහස් දක්වමින් මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මෙසේ පැවැසීය.

යහපාලන රජයේ ප්‍රබලයන් 7 දෙනකුගේම වංචා හෙළි කරමින් පැමිණිලි ඉදිරිපත් කරලා මාස තුනහමාරකටත් වඩා ආසන්නයි. මේව ගැන කිසිම වග විභාගයක් මේ දක්වා සිදුවෙලා නෑ. අවම වශයෙන් මූලික පරීක්ෂණවත් සිදුවෙලා නෑ. රුපියල් බිලියන 5ක වංචා මොවුන් යට ගහන්නේ අන්ධයෝ වගේ.

නීතියේ ආධිපත්‍ය ගැන ලොවම පිළිගත් දර්ශකයට අනුව 2014දී අප හිටියේ 54 වැනි තැනේ. අද අපි 66 වැනි තැනට ඇවිල්ලා. දකුණු ආසියාවෙන්ම එදා පළමුවැනි තැන හිටපු අපි අද දෙවැනි තැනට ඇවිල්ලා.

ප්‍රජාතන්ත්‍රවාදය,

නීතිය, හොරකම් පතුරුගහලා බලයට

ආපු යහපාලන නඩය අද අපේ රට ලොව දූෂිත රටක් ලෙස දර්ශකයේ පහළට ඇද දමමින් සිටින්නේ. එදා මහින්දට චෝදනා නැඟුවත් ජාත්‍යන්තර සමීක්ෂණවලින්ම හෙළිවෙලා ඉවරයි රටේ නීතිය කොතැනද තියෙන්නේ කියලා. අපි ජනාධිපතිට කියන්නේ ඔබට දුන් ජනවරම රැක ගන්න කියලයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon