එජාප පිළිකන්නේ කටු සූප්පු කරන පිං ඇමැතිවරුන්ට ශ්‍රී ලනිපය ගැන කතා කරන්න බැහැ

  👤  3619 readers have read this article !
By mawbima 2017-02-16

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරාජයට වගකිව යුත්තේ තමන්ගේ පක්ෂයත් පාක්ෂිකයනුත් පාවා දී එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් අරන් දීමේ කුමන්ත්‍රණයට දායක වූ මෛත්‍රිපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු පිරිස බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ඇමැති කටු සූප්පු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පිළිකන්නේ ලැගගෙන සිටින පිං ඇමැතිවරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කිරීමට කිසිදු අයිතියක් නොමැති බව පැවැසූ රණතුංග මහතා කටමැත ‍ෙදාඩවන සියලු පිං ඇමැතිවරුන් සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ප්‍රතික්ෂේප වී හමාර බවත් පැවැසීය.

මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුණේ ඒ පක්ෂය ගමන් කරන මාර්ගය ගැන පැහැදීමක් නැති නිසයි. එතුමා එජාපයෙන් ඉවත් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදලා වසර තුනක් යන්නත් පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වමේ බලවේග එකතු කරගෙන ආණ්ඩුවක් හැදුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදා සිටම කටයුතු කළේ රටත් ජාතියක් ගැන හිතලයි.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකක්ද වෙලා තියෙන්නේ. ජාතික ආණ්ඩුවක් කියලා අටවගත්ත අටමගලක් නිසා බණ්ඩාරනායක මහත්තයා ප්‍රතික්ෂේප කරපු එක්සත් ජාතික පක්ෂයේ නැට්ටේ එල්ලෙන්න අපේ පක්ෂයට සිද්ධ වෙලා. පක්ෂය මේ තත්ත්වයට පත් කළේ එතුමාගේම දුව සහ වත්මන් සභාපතිවරයා එකතු වෙලයි. බණ්ඩාරනායක මැතිතුමා ජීවතුන් අතර සිටියා නම් තමන්ගේ ආදරණීය පක්ෂය විනාශ කරපු වර්තමාන පක්ෂ නායකයන්ට ශාප කරයි.

රට ආරක්ෂා කරන ප්‍රතිපත්තියක හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද රට විනාශ කරන එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිතියක් වෙලා. රටේ කවුරු හරි එක්සත් ජාතික පක්ෂයට බැන්නොත් ඉස්සරහට පැනලා බුරන්නේ ඒ පක්ෂයේ අය නොවෙයි. අපේ පක්ෂයේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිහින් එක්සත් ජාතික පක්ෂයට මුක්කු ගහගෙන ඉන්න පිං ඇමැතිවරුන් සෙට් එකයි. කටු කන බල්ලෝ තමයි වැඩියෙන් සැර කියලා කතාවකුත් තියෙනවානේ.

අපි එදා ඉඳන්ම කියන්නේ මේ දීගය හරියන්නේ නැහැ කියලා. ඒ නිසයි අපි ඒකාබද්ධ විපක්ෂය කියලා ස්වාධීනව කටයුතු කරන්නේ. පක්ෂයේ සභාපතිවරයාට ඕනෑ නම් එක්සත් ජාතික පක්ෂයට ගියාට කමක් නැහැ. හැබැයි අපේ පක්ෂය විනාශ කරන්න දෙන්න බැහැ.

තමන්ගේ නායකයාට පිටිපස්සෙන් ඉඳලා පිහියෙන් ඇනපු මෛත්‍රිපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායකලා වගේ අය නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද මේ ඉරණමට මුහුණපාන්න වෙලා තියෙන්නේ. විධායක ජනාධිපතිවරයෙක් තුනෙන් දෙකක ආණ්ඩුවක්, පළාත් සභා අටක් සහ පළාත් පාලන ආයතන සියල්ලම හිමිව තිබ්බ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි ජනවාරි මාසේ 08 වැනිදා පාවාදීමෙන් පස්සේ මේ තත්ත්වයට වැටිලා තියෙන්නේ.

පසුගිය ජනාධිපතිවරණය සහ මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරදුණේ ප්‍රසන්න රණතුංග නිසා බව චන්දිම වීරක්කොඩි, ශාන්ත බණ්ඩාර වගේ අය කියලා තියෙනවා මම දැක්කා. චන්දිම වීරක්කොඩි පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට ආවේ මහින්ද මහත්තයාගේ ෆොටෝ එක ගහගෙන ඡන්දෙ කරපු නිසා. ශාන්ත බණ්ඩාර ඡන්දෙනුත් පැරදුණා. ඒ අය තමයි අපට අද චෝදනා කරන්නේ.

පසුගිය ජනාධිපතිවරණයේ මම ගම්පහ දිස්ත්‍රික්කයේ නායකයා වෙලා හිටියේ නැහැ. ඒ වුණාට මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල වැඩකොටසක් කළා. ගෙන් ගෙට ගිහින් ජනතාව දැනුවත් කළා වගේම දැවැන්ත රැල තියලා එතුමාගේ ජයග්‍රහණය තහවුරු කරන්න කැප වුණා. නමුත් ආප්ප කාලා පැනපු අය කියපු කතා විශ්වාස කරපු ජනතාව මහින්ද මහත්තයා පරද්දන්න කටයුතු කළා.

පක්ෂයේ සභාපතිවරයා දිස්ත්‍රික් නායකයා බවට පත්කළේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු ෆිලීක්ස් පෙරේරාව. අන්තිමේදී ෆීලික්ස් පෙරේරා විතරක් නෙමෙයි පක්ෂයත් දිස්ත්‍රික්කයත් පැරදුණා. ඒ විතරක් නොවෙයි පක්ෂයේ ජනතා කැමැත්ත තිබුණු අයට නාමයෝජනා දෙනවට සභාපතිවරයා කැමැති වුණේ නැහැ.

සමන්මලී සකලසූරිය, මෙරිල් පෙරේරා, සහන් ප්‍රදීප් වගේ ආකර්ෂණීය තරුණ නායකයන්ට නාමයෝජනා නොදී මිනීමැරුම් චෝදනා පවා තියෙන සංජය සිරිවර්ධන වගේ චරිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කළේ පක්ෂයේ සභාපතිවරයාගේ වුවමනාවට. සභාපතිවරයාට ඕනෑ වුනේ මහින්ද පරද්දන්න මිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවන්න නොවෙයි. ගම්පහ විතරක් නොවෙයි මුලු රටින්ම පසුගිය මහ මැතිවරණයේදී අපේ පක්ෂයට පරදින්න සිද්ධ වුණේ පක්ෂ සභාපතිවරයාගේ අත්තනෝමතික වැඩ හින්දයි. මහින්ද මහත්තයා දිනයි කියලා බයට පක්ෂයේත් සන්ධානයේත් ලේකම්වරුන් ඉවත් කළා. දිනුවත් අගමැතිකම මහින්ද මහත්තයාට දෙන්නේ නැහැ කියලා ප්‍රසිද්ධියේම කිව්වා. අන්තිමේදී අපේ පාක්ෂිකයන් අතරමං කරලා එක්සත් ජාතික පක්ෂයට බලය අරන් දුන්නා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්