ඩෙස් පුටු හදන්න මැති-ඇමැතිවරුන් සල්ලි නොදෙන්නෙ නම් ගහගන්න බැරි නිසාද?

  👤  3467 readers have read this article !
By mawbima 2017-02-16

උදේනි සමන් කුමාර

පාසලේ පවතින අඩුපාඩු මොනවාදැයි සිසුන්ගෙන් විමසූ විට ඔවුන් පවසන්නේ අපට ඩෙස්, පුටු, කැසිකිළි, වැසිකිළි නැති බව යැයි පැවැසූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය වසරේ පාසල්වලට වෙන්කළ මුදල් ඔබේ පාසල්වලට ලැබුණාද නැද්ද බිය නොවී කරුණාකර ඇත්ත කියන්නැයි ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

පාසලක වැසිකිළියක් හැදුවාම, ඩෙස් පුටු දුන්නාම නම ගහන්න බැරි නිසා මේ මුදල් වෙනත් දේවලට යොදවනවාදැයි ජනපති ප්‍රශ්න කළේය.

අම්පාරේ අෑත දුෂ්කර පාසලක ගුරු හිමිනමක් ඊට පිළිතුරු දෙමින් පැවැසුවේ 2016 වසර අවසානයේ මුදල් කොටසක් ලැබී වැසිකිළි වළවල් කැපූ බවත් ඉතිරි මුදල් ලැබෙනතුරු වැඩ නතර කළ බවත් දැන් දරුවන් වළවල්වලට වැටේ යැයි බියෙන් පසුවන බවත්ය. බහුතරයක් ගුරුවරු නිහඬව සිටියේය.

ප්‍රශ්න කියන්න බිය නම් පාසල්වල වැසිකිළි කැසිකිළි ප්‍රශ්න තිබේ නම් අත ඔසවන්නැයි ජනපති ඉල්ලා සිටි විට ගුරුවරු බොහෝ දෙනෙක් අත් එසවූහ.

මෙම සිදුවීම වූයේ බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරියේදීය. ගුරුවරුන් සමඟ සංවාදයක් අරඹන්නට සතුටු බව පවසමින් ජනපති ඉහත ප්‍රශ්න මතු කළේය.

'සුවසර තක්සලාව' හරිත පාසල් ප්‍රවර්ධන ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (14දා) පස්වරුවේ බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරියේදී පැවැත්විණි.

පාසල් තුළ කෙරෙන පරිසර හිතකාමී ව්‍යාපෘති මෙන්ම පාසල් පවිත්‍රතාව, පියකරු බව වැනි හරිත සංකල්පය ඔප් නැංවෙන ක්‍රියාකාරකම් මෙහිදී අවධානයට යොමු කර ඇත. ජයග්‍රාහී පාසල් 71ක් සඳහා ජනපති අතින් ත්‍යාග පිරිනැමිණි.

ප්‍රාදේශීය පරිසර නිලධාරීන් වෙතද අදාළ පාසල්වල විෂය භාර ගුරුභවතුන්ටද සම්මාන හිමි විය. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය නිර්මාණය කළ පාරිසරික වශයෙන් වැදගත් දින සහිත පෝස්ටරයද ජනපති වෙත පිළිගැන්විණි.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාද උත්සවයට එක්ව සිටි අතර ජයග්‍රාහී පාසල්වල පාරිසරික අංශ භාර ගුරුවරුද සහභාගි වූහ.

ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ඉකුත් වසරේ අරණායක මධ්‍ය විද්‍යාලයට තමන් ගිය අවස්ථාවේ කැසිකිළි නොමැතිකම නිසා සිසුන් පාසලේදී වතුර නොබොන බව ගුරුවරියක් පැවැසූ බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කරන මුදල් පාසල්වලට යොමු කිරීමේදී ප්‍රමුඛතා චක්‍රලේඛයක් ලබාදිය යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon