පුරසාරම් සහ නරිවාදම්

  👤  2970 readers have read this article !
By mawbima 2017-01-12

'ශ්‍රී ලනිපයයි එජාපයයි එකතු වෙලා හදන ආණ්ඩුවක් දකින්න මගේ සිහිනයක් තිබුණා.'

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එහෙම කිව්වේ 2014 දෙසැම්බරයේ පොදු අපේක්‍ෂකයාගේ ජනාධිපතිවරණ රැලියකදී. චන්ද්‍රිකාගේ සිහිනය සැබෑ වුණේය. එහෙත් භාගෙටය. ඊට හේතුව ශ්‍රී ලනිපයේ සැලකිය යුතු කොටසක් හවුල් ආණ්ඩුවට එකතු නොවීමය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එක්ක එකතු වී ආණ්ඩුවේ කකුලෙන් අදින්නේ ඒ කට්ටියය. මහින්ද හදපු වරායත්, හම්බන්තොට ඉඩම් ටිකත් චීනෙට විකුණන බව කියමින් ඉකුත් සෙනසුරාදා මිරිජ්ජවිලට ගොස් යකා නැටුවේ මේ සෙට් එකය. උත්සව සභාව අසලට යෑමෙන් වළකින ලෙස අධිකරණය තහනම් නියෝගයක් පනවා තිබියදී එතැනට යෑමට උත්සාහ කළේ ගැටුමක් ඇති කර ගැනීමට බව පැහැදිලිය. හරියට අන්තරේ ශිෂ්‍යයන් පොලිස් බාධක කඩාගෙන යන්න ගිහින් ගුටි කනවා වගේය. කාරණය එය නොවේ.

අක්කර 15,000ක් චීනෙට දෙනවට විරුද්ධ මහින්ද, ආණ්ඩු බලය දරද්දී චීනයට හම්බන්තොටින් අක්කර 750ක් දීමට පොරොන්දු වී තිබීමය. මහින්ද ඒ බව කියා තිබුණේ කෑගල්ලේ පැත්තේ පන්සලක පැවැති උත්සවයකදීය. සල්ලි ඉල්ලන්නෙත් නැතිව චීන ජනාධිපති තමන් අතට සල්ලි දුන්න බවද පරිසරයට හිතකර නැති කර්මාන්තවලට ලංකාවට ඒමට තමන් ඉඩ නොදුන් බවද ඔහු එහිදී කියා තිබුණේය. 2017 වසරේ මේ ආණ්ඩුව පෙරළන බවට මහින්ද මෑතකදී කියා තිබුණේ විදේශීය මාධ්‍යකරුවන් පිරිසක් අමතාය. මේ සියලු කතාවලට වඩා හොඳ කතාවක් කෑගල්ලේ පන්සලේදී මහින්ද කියා තිබුණේය.

'19 වැනි සංශෝධනය ගෙනාවේ එක් පවුලක් ඉලක්ක කරගෙන. වාර දෙකකට වඩා ජනාධිපතිකම කරන්න බැහැ කියලයි, වයස අවුරුදු 35ට අඩු අයට ඡන්දෙ ඉල්ලන්න බැහැ කියලයි සීමාවක් දැම්මා. ද්විත්ව පුරවැසිකම තිබෙන අයටත් තහංචියක් පැනවුණා. මේවා කවුරුවත් හීනෙන්වත් හිතුවේ නැති දේවල්.'

ඒ කතාව නම් සහතික ඇත්තය. 'ජනවාරි 8' වුණු දේ මහින්ද හීනෙන්වත් හිතුවේ නැත.

විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වාදුන් 1978 සිට ඊට විරෝධය කළ, බලය ලැබුණු වහාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව කියූ ශ්‍රී ලනිපය 1994 සිට 2014 වන තුරු බලයේ සිටියද විධායක ජනාධිපති ධූරයට අත තැබුවේ නැත. 1994 ජනාධිපතිවරණයේ ප්‍රධාන සටන් පාඨයක් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. ජනතා විමුක්ති පෙරමුණට ප්‍රසිද්ධියේ චන්ද්‍රිකා පොරොන්දු වූයේ අවුරුදු දෙකක් ඇතුළත එය කරන බවය. දෙවැනි වරටත් චන්ද්‍රිකා ජනාධිපති ධුරයට තරග කළා මිස ජනාධිපති ධුරය අහෝසි කිරීමක් සිදුවූයේ නැත. මහින්ද 2005දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේද විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව කියමින්ය. යුද්ධයට මුවා වී ඔහු පොරොන්දුව කඩ කළේය. 2010 ජනාධිපතිවරණයේදී ද මහින්ද යළි පොරොන්දුවක් දුන්නේය. එහෙත් ජයග්‍රහණයෙන් පසු මහින්ද කළේ කුප්‍රකට 18 වැනි සංශෝධනයෙන් දෙවරකට වැඩි වාර ගණනක් ජනාධිපති ධුරයට තරග කිරීමට පනවා තිබූ බාධකය ඉවත් කර ගැනීමය. ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවේ තිබුණු එකම ප්‍රජාතන්ත්‍රවාදී අංගයද මහින්ද ඡේදනය කළේ එහෙමය. ඒ මදිවට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ 17 වැනි සංශෝධනය ඉන් පුස්සක් කර දැම්මේය.

ඉකුත් 8 වැනිදා පැවැති 'ජනවාරි 8' සමරු උත්සවයේදී මෛත්‍රි කීවා සේ ජනතාවගේ ජයග්‍රහණය 19 වැනි සංශෝධනය සම්මත කර ගැනීම නොව 18 වැනි සංශෝධනය බල රහිත කිරීමය. 1994 ජනාධිපතිවරණයේදී මෙන්ම 2015 ජනාධිපතිවරණයේදී ද ප්‍රමුඛතම සටන් පාඨය වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමය. අලුත් ව්‍යවස්ථාවක් සකස් කිරීමය. අනුරාධපුරයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපතිවරණ මංගල රැලියේදී තමන් යළි බලයට පැමිණි පසු ව්‍යවස්ථාව සංශෝධනය කරන බව මහින්දට කියන්න සිදුවුණේ ඒ වනවිට නැඟී එමින් තිබූ ජනමතය නිසාය. සිය ඊනියා දේශප්‍රේමී සිංහල බෞද්ධ හැඳුනුම්පත මහින්ද සොරා ගැනීම නිසා ජවිපෙට 2010දී අත්වූ ඉරණමටම ගොදුරු වෙමින් සිටි ජාතික හෙළ උරුමය ගල්ලෙන බිඳගෙන පොදු අපේක්‍ෂකයාට සහාය දීමට පැමිණියද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම විෂයේ පොදු අභිලාෂයට හරස්ව දිගින් දිගටම කටයුතු කළේය. 'මෛත්‍රි පාලනය' ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ඍජුව සඳහන් නොවූයේ හෙළ උරුමයේ බලපෑම මත බව පැවැසිණි. ඒ සම්බන්ධව චම්පික රණවක හා රනිල් අතර දැඩි මත ගැටුමක් ඇතිවූ බවද කියැවුණේය.

'දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක් හඳුන්වා දෙයි'

'මෛත්‍රි පාලනය' ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූයේ එලෙසය.

පරාජය වී දෙවසරක් ඇවෑමෙන් මහින්ද කියන්නේ මෛත්‍රි 19 වැනි සංශෝධනය කළේ පවුලක් නිසා බවය. එහෙත් ඔහු, 18 වැනි සංශෝධනය කළේ පවුල නිසාද නොඑසේනම් කුමක් නිසාදැයි කියන්නේ නැත. 'පවුල' නිසා 19 වැනි සංශෝධනය කළ බව කීමෙන් මහින්ද අතිශය වැදගත් 19 වැනි සංශෝධනය හෑල්ලුවට ලක් කරයි.

මෛත්‍රි එක්ක 2014 දෙසැම්බරයේ ආණ්ඩුවෙන් ‍ෙදාට්ට බැස්ස, දැන් ශ්‍රී ලනිපයේ ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක පක්‍ෂයට යෝජනා කර ඇත්තේ විධායක ජනාධිපති ධුරය දිගටම පවත්වාගෙන යා යුතු බවත්, 2020දී ජනාධිපති ධුරයට මෛත්‍රි තරග කළ යුතු බවත්ය. මෛත්‍රි මුලසුනේ සිටි රැස්වීමකදී ඉදිරිපත් කළ මේ යෝජනාවට රැස්ව සිටි ශ්‍රී ලනිපයේ කිසිවකු විරුද්ධ වී නැත. මෛත්‍රිද මුනිවත රැක ඇත. කිඹුලා කනවා ඉවසිය හැකිය. කොහිල කටු ඇනෙන එක ඉවසන්න බැහැ කියන්නේ මෙන්න මෙව්වාටය.
ඉතිහාසය පුරා ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටි ශ්‍රී ලනිපය අංශක 1800 කැරකෙන විට එය හඳුන්වා දුන් එජාපය අංශක අනූවකින් කැරකී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටීම දෛවයේ සරදමක්ද? දේශපාලන සරදමක්ද?

මෛත්‍රි ජනාධිපතිවරණයේදී මෙන්ම ජනාධිපති පදවියට පත්වීමෙන් පසුවත් දිගින් දිගටම කියා සිටියේ යළි ජනාධිපතිවරණයකට යළි තරග නොකරන බවය. ජනාධිපති ධුරය අහෝසි කිරීමට කැපවන බවද ඔහු කියා සිටියේය. එහෙත් අද මෛත්‍රි උගුලක හිරවෙලාය. මේ උගුලේ මෛත්‍රි හිරවුණේ ශ්‍රී ලනිප සභාපතිකම භාරගත් දවසේය. ඉකුත් මහ මැතිවණයේදී මහින්දට අපේක්‍ෂකත්වය දීමටත්, මනාපයෙන් පරාජිත අපේක්‍ෂකයන් ජාතික ලැයිස්තුවෙන් පත්කිරීමටත්, තමාව නිර්දය ලෙස විවේචනය කළ, පොදු අපේක්‍ෂකයා ලෙස තමන් නියෝජනය කළ අභිලාෂයන්ට එරෙහිව කටයුතු කළ පිරිසකට ඇමැති පදවි පිරිනැමීමටත්, මෛත්‍රිට සිදුවූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

ජනාධිපතිවරණයෙන් පසු ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයකට නොගියේ ශ්‍රී ලනිපය අන්ත පරාජයකට මුහුණදීම වැළැක්වීමට බව ප්‍රසිද්ධියේ කීමෙන් රටට වඩා මෛත්‍රිට පක්‍ෂය ලොකුදැයි ප්‍රශ්නාර්ථයක් ශ්‍රී ලනිප නොවන්නන්ගේ සිත් තුළ ඇති විය.

එහෙම බලන කොට ශ්‍රී ලනිපයේ මහ ලේකම් ධුරය දරමින් සිටියදී ඔහු විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වුණේ පක්‍ෂයේ සභාපති පුටුව ලබාගැනීමේ අරමුණින්දැයි සැක මතුවීම සාධාරණය. ශ්‍රී ලනිපයේ සිටියා නම් කිසිදු දිනෙක මෛත්‍රිට පක්‍ෂයේ සභාපති පුටුවේ ඉඳගැනීමට ඉඩ ලැබෙන්නේ නැත. චන්ද්‍රිකාගේ කාලයේ මෛත්‍රි සිටියදී එස්.බී.ට ලේකම් ධුරය හිමිවිය. ඒ බව අසා මැතිනිය කඳුළු සැලූ බව මෛත්‍රිගේ ජීවිත කතා පොතේ ලියා ඇත. ජනාධිපතිවරයා ලෙස රට වැටී ඇති අගාධයෙන් ගොඩගැනීමට කැපවෙනවා වෙනුවට ශ්‍රී ලනිපය වැටුණු වළෙන් ගොඩගැනීමට මෛත්‍රි වෙහෙසෙන බව පෙනෙන්නට ඇත. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු නැතැයි ශ්‍රී ලනිප මහ ලේකම් ලැජ්ජා නැතිව කියද්දී සෙස්සන් ඔළුව වනද්දී මෛත්‍රි මුනිවත රකින්නේ ඒ නිසාය. ශ්‍රී ලනිපය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අලුතෙන් හදනවට එතරම් කැමැත්තක් නැති බව පෙනේ. ජනමත විචාරණයකට නොයා ව්‍යවස්ථා සංශෝධනය කිරීමට ඔවුන් කැමැත්ත දක්වා ඇත. එහෙත් එය ජනවාරි 8 මෛත්‍රිගේ ජනවරමට පිටුපෑමකි.

'ආණ්ඩු බලය නැති අය තවත් අවුරුදු හතරකින් ජනතාවට ලැබෙන මැතිවරණ අවස්ථාව ගැන කතා කරනවා. එය රටට ජාතියට හොඳ දෙයක් නොවේ. අද රටට අවශ්‍ය බලය තහවුරු කර ගැනීමවත් බලය ඉලක්ක කර ගැනීමවත් නොව සියලු දෙනා එක්වී මේ රට ගොඩනැඟීමය' මෛත්‍රි එහෙම කිව්වේ ඉකුත් 8 වැනිදා කොළඹ පැවැති තිරසර යුගයක තෙවසරක ඇරැඹුම උත්සවයේදීය. එහෙත් ඔහු ඇතුළු ශ්‍රී ලනිපය අද කටයුතු කරමින් සිටින්නේ පක්‍ෂයේ බලය තහවුරු කර ගැනීමටය. 'පක්‍ෂ දෙක එකතුවී හිමින් වුණත් ගමන යන බව' කීවද රනිල් කරන්නේද පක්‍ෂය ශක්තිමත් කිරීමය. මහින්දලා මොන දඟ දැම්මත් ආණ්ඩුව හොල්ලන්න බැහැ යැයි පුරසාරම් කිව හැකිය. එහෙත් ආණ්ඩුවක් තිබුණට මදිය. වැඩත් කෙරෙන්න ඕනෑය.

පෝට් සිටිය, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ මහින්ද රටට උරුම කරදුන් කරුමය. මේ වැඩවලින් සිදුවූයේ රටේ ණය බර තව තවත් වැඩිවීමය. රට ණය උගුලක සිරවීමය. මේවා පුරාජේරු වැඩ වුවද දැන් කිසිවක් අලුතෙන් පටන් ගැනීමට නොහැකිය. දැන් කළ යුත්තේ චීනයෙන් ණය අරගෙන හැදූ වරාය - ගුවන්තොට මෙන්ම පෝට් සිටිය වාණිජ වශයෙන් දියුණු කිරීමට චීනයටම පැවැරීමය. මහින්ද බලයේ හිටියත් කරන්න වෙන්නේ ඒ ටිකය. ඔවුන් කරන්න සැලසුම් කළෙත් ඒකය. ප්‍රශ්නය ජවිපෙ වැනි හම්බන්තොට ගිවිසුමට විරුද්ධ වන පක්‍ෂ වෙනත් විකල්පයක් යෝජනා නොකිරීමය.

හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් කර්මාන්ත පුරයක් හැදීමට පිටරට සමඟ ගිවිසුම් ගැසීම ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නය වුණේ මේ ගිවිසුම් ගැන මෙලෝ හසරක් පාර්ලිමේන්තුව පවා නොදැන සිටීමය. හම්බන්තොට සාමාන්‍ය ජනතාව සිතන්නේ මේ හදන්නේ හම්බන්තොට ඉඩම් ටික විකුණා දැමීමට බවය. වීරවංශ කියනවා වගේ හම්බන්තොට චීන කොලනියක් වේයැයි ඔවුහු බිය වී සිටිති. ජනතාව සමඟ සංවාදයකට ගියා නම්, පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කළා නම් ඉකුත් සෙනසුරාදා ඒ විදියට ජනතාව උසිගැන්වීමට කිසිවකුට ඉඩ ලැබෙන්නේ නැත. අවශ්‍යයෙන් කළ යුතුදේ මෛත්‍රි, රනිල් අතපසු කර තිබේ. වරද ඇත්තේ එතැනය.

'මහරජ ඔබ මේ භුමියේ රජු වුවත් ඔබට මේ භූමිය හිමි නැත. ඔබ භූමියේ භාරකරුවා පමණි,

දෙවනපෑතිස් රජු අමතා මිහිඳු හිමි කියූ මෙවදන මහින්ද සිය 'මහින්ද චින්තය' පොතේ පෙරවදනට යොදාගෙන තිබුණේය. මෛත්‍රිද ඉකුත් 8 කොළඹදී මේ කතාව කියා තිබිණි. කුමක් කීවත් පාලකයන්ට බලය අභ්‍යාස කරන විට භාරකරු භුමිකාව අමතක වී ඔවුන් හිමිකරුවන් බවට පත්වේ. මහින්ද සිතුවේ රටේම හිමිකරුවා ඔහු කියාය. ඔහුට වැරදුණේ ඒකය. රනිල්ගේ හැසිරීම එතරම් නරක නැතත් හොඳම නැත. මෛත්‍රිද භාරකරු භූමිකාව අමතක කළොත් රටට අබ සරණය.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රබලතම විවාදය නම් සාමාන්‍ය ඡන්දදායකු සමඟ මිනිත්තු පහක් සංවාදයේ යෙදීමය.

එසේ කියා ඇත්තේ වින්ස්ටන් චර්චිල්ය.

රනිල් මෑතකදී ප්‍රකාශ කර තිබුණේ වරින් වර වෙනස්වන ප්‍රතිපත්ති රටේ දියුණුවට බාධාවක් බවය. ඊටත් වඩා බාධාවක් වී ඇත්තේ ශ්‍රී ලනිප එ.ජා.ප. සීතල බල අරගලයයි.
මේ නිසා මේ පක්‍ෂ ජාතික ප්‍රශ්න විග්‍රහ කරන්නේ සිය බල වුවමනාවන්ට අනුකූලවය. ආණ්ඩු බලයට ඍජු සම්බන්ධයක් නැති ජ.වි.පෙ. වැනි පක්‍ෂ ඊට වෙනස් නැත. මහින්ද ප්‍රමුඛ ඊනියා ඒකාබද්ධ විපක්‍ෂයට 'බලය' සියතට ගැනීම මිස අන් කිසිදු අරමුණක් තිබෙන බවක් නොපෙනේ. අවුරුදු 10 කින් ණය වාරික ගෙවා හම්බන්තොට සංවර්ධනය කිරීමට සැලසුම් කර ගෙන සිටි බව මහින්ද ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබිණි. මේ කතාවලට රැවටෙන කොණ්ඩේ බැඳපු චීන්නු කෙසේ වෙතත් සැලකිය යුතු පිරිසක් මෙරට සිටිති. මහින්දලාගේ පුහු ඝෝෂාවලට සවන් නොදෙන ලෙස මෛත්‍රි ඉල්ලා තිබිණි. සබුද්ධික ජනතාවට අවශ්‍ය ඝෝෂා හෝ කතා නොව හරියට වැඩ කිරීමය.
කළ යුත්තේ කුමක්දැයි නිවැරැදිව වටහාගෙන මෛත්‍රි - රනිල් එකතුවී වැඩ කළ යුතුය. එහෙත් 'කාරණාව' සහසුද්දෙන් තේරුම් නොගෙන දෙකොන පටලවා ගැනීමට යෑම යථාර්ථයෙන් දුරස්වීමේ පළමු කොන්දේසියය. මෛත්‍රි - රනිල් දෙකොන පටලවා ගැනීමෙන් තදවන්නේ මහින්දගේ ගැටය බව නොදන්නේ නම් ඔවුහු තකතීරුවෝ වෙති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්