විමල් කියන්නේ රනිල්ලා අසූ නවයේ ටයර් එකක යවන්න හිටිය දේශප්‍රේමියෙක්

  👤  3163 readers have read this article !
By mawbima 2017-01-12

ඉෂාරා සිල්වා

දේශපාලන දඩයම් කිරීම දිගටම සිදුකළොත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරයත්, ආණ්ඩුවත් දෙකම නැතිවිය හැකි බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක පවසයි.

විමල් වීරවංශ මහතා සිරගත වුණේ රටේ ජනතාව වෙනුවෙන් තම වගකීම ඉටු කිරීමට ගොස් බවත් නුදුරු අනාගතයේ වික්‍රමසිංහ මහතාව බැඳුම්කර වංචාවට අනුබල දීමේ වරදට බන්ධනාගාර ගත කර රටේ ජනතාවට සදාකාලික සතුටක් ලබාදෙන බවත් ඒ මහතා පැවැසුවේය.

ඒ මහතා මේ බව සඳහන් කෙළේ ඊයේ (11දා) ජාතික නිදහස් පෙරමුණ පක්‍ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද කීය.

පසුගියදා අපේ පක්‍ෂයේ නායක විමල් වීරවංශ මහතාට අභූත චෝදනා නඟලා රක්‍ෂිත බන්ධනාගාර ගත කළා. මේ අවස්ථාවේ අපි පක්‍ෂයේ සියලු දෙනාගෙන් සහ පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනවා සන්සුන්ව පක්‍ෂයේ ඉදිරි වැඩකටයුතු කිරීම සඳහා සහාය දෙන ලෙස. විශේෂයෙන්ම පක්‍ෂ සම්මේලනය අපි ලබන 22 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සැලසුම් කළ ආකාරයටම පවත්වනවා.

විමල් වීරවංශ කියන්නේ මේ රටේ දැන් ජීවත් වෙන්න හිටපු කෙනෙක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහලා 1989 ටයර් එකක යවන්න හිටපු කෙනෙක්. ඒ ටයර් ලිස්ට් එකේ විමල් වීරවංශ ඇතුළු අපි හැමෝගෙම නම් තියෙනවා.

ටයර්වලට එදා අපිව නැති කරන්න බැරිවුණා. හැබැයි රනිල් වික්‍රමසිංහ හිතන්න එපා එදා ටයර් මාලේ වැටුණු අපි දැන් ඔබට බයයි කියලා. අපිව එහෙම බය කරන්න බැහැ. බය කරන්න ලැහැස්ති වෙන්නත් එපා කියලා අපි රනිල් වික්‍රමසිංහට කියනවා. එහෙම සෙල්ලම් කරන්න ආවොත් අගමැතිකමත් නැතිවෙලා ආණ්ඩුවත් නැති වෙනවා ඔබතුමට.
අපි ආණ්ඩුවට කියනවා විමල් වීරවංශ අපේ නායකයාට අවශ්‍ය සියලුම ආරක්‍ෂාව බන්ධනාගාරය තුළ සලසන්න කියලා. මොකද ඔහු පසුගිය කාලයේ කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න විශාල මෙහෙවරක් කරපු නායකයෙක්. ත්‍රස්තවාදීන්ගේ මරණ තර්ජනයට ලක්වුණු ලැයිස්තුවේ

ඉහළින්ම හිටපු නායකයෙක්. ඔහුව දාලා තියෙන්නේ කොටි ත්‍රස්තවාදීන්ව රඳවලා තියෙන තැනක. ඒ නිසා ඔහුට අවශ්‍ය ආරක්‍ෂාව සපයන්න.

මේ වාහන අවභාවිත කළා කියලා අපිව බය කරන්න බැහැ. ඒ අවභාවිතාවල සියල්ල අදාළ වෙන්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට මිස විමල් වීරවංශට නෙවෙයි. හැබැයි මතක තියාගන්න රනිල් වික්‍රමසිංහ ඔබවත් අපි රිමාන්ඩ් කරනවාමයි.

විමල් වීරවංශ සිරගත කරලා තියෙන්නේ අනුබල දීම නිසා නම් රනිල් වික්‍රමසිංහටත් අදාළයි.

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පා.ම. ජයන්ත සමරවීර, ජනවාරි 08ට පෙර ඉඳන් කළ චෝදනා ඔප්පු කරගන්න බැරුව මූල්‍ය අභූත චෝදනාවක් කරලා තමයි විමල්ව අත්අඩංගුවට ගත්තෙ.

ඔහුට විරුද්ධව නැඟුණු චෝදනාව තමයි වාහන අවභාවිතයට අනුබල දීම. ඔහුට 2015ට පෙර භාරදී තිබුණු අමාත්‍යාංශය තමයි ඉදිකිරීම්, ඉන්ජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය. එය ඉතාමත් පාඩු ලබපු ආයතනයක්. නමුත් විමල් වීරවංශ මහතා එම අමාත්‍යාංශය භාරගෙන 2014 වර්ෂය වන විට එහි පිරිවැටුම මිලියන දහදාහක් දක්වා වැඩි කළා. එමඟින් එම අමාත්‍යාංශය ඉහළට ඔසවා තබන්න ඔහුට හැකි වුණා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon