198 අවුරුදු බද්දට ඉල්ලූ වරාය අවුරුදු 50ට අඩු කරගන්නයි අපි හදන්නේ

  👤  3053 readers have read this article !
By mawbima 2017-01-12

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

හම්බන්තොට වරාය පමණක් නොව මෙරට කිසිදු වරායක් විකිණීමට හෝ වෙනත් රටකට පවරා දීම ආණ්ඩුවේ අරමුණ නොවන බව වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවැසුවේ මහපොළ අභ්‍යාස ආයතනයේ පැවැති විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වරම් ලැබූ වරාය සේවකයන්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

රණතුංග අමාත්‍යවරයා මෙසේද පැවැසුවේය.

හම්බන්තොට වරායට ආයෝජකයන් කැඳවීමේදී රටට අවාසිදායක නොවන ලෙස සිදුකරන්නැයි ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මට උපදෙස් දී තිබෙනවා.

මමත්, මගේ නියෝජ්‍ය ඇමැතිතුමත් මේ කිසිම දෙයක් විකුණනවට කැමැති නැහැ. ජනාධිපතිතුමත් එහෙමයි. අගමැතිතුමත් ඉන්නේ ඒ මතයේ. අපි හම්බන්තොට වරායට ආයෝජකයන් සොයන්න විශාල වෙහෙසක් දැරුවා. අද වන විට ආයෝජකයන් දෙන්නෙක් ඇවිල්ලා තියෙනවා. හම්බන්තොට වරාය ලේකම්වරුන්ගේ කමිටුව එයින් එක් කෙනෙක් තෝරාගෙන අද වන විට සාකච්ඡා පවත්වනවා. ඒ හැරෙන්න කිසිම ගිවිසුමකට අද වන විටත් අස්සන් කරලා නැහැ.

මේ සාකච්ඡාවලදී චීන සමාගම හම්බන්තොට වරාය ලේකම් කමිටුවෙන් මුලින්ම ඉල්ලා තිබුණේ අවුරුදු 198ක බද්දකට. නමුත් අපිට පුළුවන් වුණා එය 99 අවුරුදු බද්දට දක්වා අඩු කිරීමේ සාකච්ඡාවලට අවතීර්ණ වෙන්න. නමුත් තවමත් එය අවසන් වී නැහැ. මගේ යෝජනාව නම් එය අවුරුදු 50ක් විය යුතුයි කියන එක. අපිට අයිතිවාසිකම් තියෙන කිසිම දෙයක් දෙන්න අපි සූදානම් වෙලා නැහැ.

අපිටත් පුළුවන් හම්බන්තොට වරායට එන නැව් එනතුරු ආයෝජකයන් එනතුරු අවුරුදු ගාණක් බලාගෙන ඉන්න. එහෙම කළොත් හම්බන්තොට වරාය හදන්න ගත්ත ණය සහ එහි පොලිය ගෙවන්න සිදුවන්නේ අපිට. දැනටමත් කොළඹ වරායෙන් ලැබෙන ලාභයෙන් විශාල ප්‍රමාණයක් හම්බන්තොටට යනවා. දවසක ණය ගෙවන්න කොළඹ වරායේ මුදල ප්‍රමාණවත් වුණේ නැති වුණොත් අපිට මුදල් අමාත්‍යාංශයෙන් මුදල් ඉල්ලන්න සිදුවෙනවා. එතකොට තමුන්නාන්සේලාට බදු පටවන්න සිදුවෙනවා.

අපිට අවශ්‍ය හරි ක්‍රමයකට මෙය අස්සන් කරන්න. මොන ආයෝජකයාද ගිවිසුමකට අස්සන් කිරීමට පෙර මුදල් දෙන්න සූදානම් වෙලා ඉන්නේ. අපි මොනවා කිව්වත් හම්බන්තොට වරාය වටිනාකමකින් යුක්ත තැනක්.

වරාය සහ නාවික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මේ අවස්ථාවට සහභාගි විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්