මා චීන තානාපති හමුවුණේ ප්‍රසිද්ධියේ මම කිසිවක් ඉල්ලුවෙත් නෑ

  👤  2974 readers have read this article !
By mawbima 2017-01-12

චාමිණී ගම්මන්පිල

'මම චීන තානාපති හමුවුණේ බොහොම ප්‍රසිද්ධියේ. අපි කළේ සුහද සාකච්ඡාවක්. අපි වැඩ කළේ චීනයට විරුද්ධව නෙවෙයි. මම ඔහුගෙන් කිසිවක් ඉල්ලුවෙත් නෑ. ඔහු මගෙන් කිසිවක් ඉල්ලුවෙත් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු එසේ පැවැසුවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාගේ සුවදුක් විමසීමට ඊයේ (11දා) වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මම හැමදාම කියනවා චීනය අපේ මිත්‍රයෙක්. ඒක රහසක් නෙවෙයි. ඒ දවස්වල එජාපය තමයි චීන පැටව් කිය කියා ඔවුන්ට බැන්නේ. චීන රජය අපිට හැමදාම සැලකුවා. උදවු කළා. මොරගහකන්ද හදන්නත් උදවු කළා. මම පිටරට ගිහිල්ලත් කිව්වේ ලංකාවට ආයෝජන ගේන්න. වැඩිපුර ආයෝජකයෝ එවන්න කියලයි. ඒක තමයි එදත් ඉල්ලුවේ. අදත් ඒකමයි කිව්වේ. මෙය රහසක් නෙවෙයි. නමුත් අපිට වන අසාධාරණය ගැන කිව්වා.

වරාය හැදුවා කියලා විරුද්ධ වූ සමහරු දැන් එහි හොඳ දකින්න පටන් අරන් තියෙනවා. ඒ පිළිබඳ මොකද හිතන්නේ?

අපේ කාලේ කළ හැම වැඩකම පිළිවෙළක් තිබුණා. ආවාට ගියාට කිසි දෙයක් කළේ නෑ. වරාය හැදුවේ එහි වැදගත්කම මම දන්න නිසයි. ඊට විරුද්ධව කෑ ගැසූ අපටත් දැන් වරායේ වැදගත්කම තේරෙන්න පටන් අරන්. මෙච්චර කාලයක් නරකයි කියූ දේ දැන් හොඳයි කියනවා. අපිට පහරදීලා හාමුදුරුවන්ට පහරදීලා, සිවුුරු පුච්චලා, හාමුදුරුවන්ගේ ලේ හොලවලා තමයි දැන් වැඩ කරන්න හදන්නේ.

අසාධාරණය පිළිබඳ කතා කරද්දී චීන තානාපතිගේ ප්‍රතිචාර මොන වගේද?

ඇහුම්කන් දෙනවා.

ශ්‍රී ලනිප මහලේකම් කියනවා 2020දිත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තමයි කියලා?

ඒක එයාගේ වැඩක්. ජනතාව ඡන්දය දුන්නෙත් වෙනසක් බලාපොරොත්තුවෙන්නේ. ඒ මතයට හිස නමනවා. නමුත් ව්‍යවස්ථාවක් හදන්න නම් එයාලට බලය දීලා නෑ. ඡන්ද පොරොන්දු තවම ඉෂ්ට කරලා නෑ. අපි විතරයි කියූ දේවල් ඉෂ්ට කළේ. පොතක ලියාගෙන සියලු දේ කළා. යුද්ධය ඉවර කරනවා කිව්වා ඒකත් කළා. රට සංවර්ධනය කරනවා කිව්වා ඒකත් කළා. වත්මන් ආණ්ඩුව අපිට වඩා ණය අරන්. මුදල් ඇමැතිතුමාට ජාත්‍යන්තරයෙන් සම්මානත් ලැබෙනවා. අපිත් දෙනවා ඔහුට සම්මානයක්. ආණ්ඩුව පෙරළන්න ජනතාව ඉතා ඉක්මනින් පීඩනයට පත් කිරීම පිළිබඳ සම්මානයයි ඒ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්