හිටපු ජනපති හිතවතුන්ට ඉඩම් දුන් ආකාරය ගැන තොරතුරු තිබෙනවා අප ඒවාත් හෙළි කරනවා

  👤  3161 readers have read this article !
By mawbima 2017-01-12

දෙනගම ධම්මික රණවීර

හිටපු ජනාධිපතිවරයා හිතවතුන්ට ඉඩම් දුන් ආකාරය පිළිබඳ තොරතුරු තිබෙන බවත් ඒවා හෙළි කරන බවත් සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කෙළේය.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (11දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු එසේ පැවැසීය.

මේ අවස්ථාවට එක්වූ විදුලිබල නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා මෙසේ පැවැසීය.

ශ්‍රී ලංකා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ 2014 විගණනය අනුව විමල් වීරවංශ ඇමැතිවරයා රජයේ වාහන 40ක් අවභාවිත කරලා. මේ නිසා රජයට රුපියල් ලක්ෂ 916ක පාඩුවක් සිදුවෙලා. 2015 සැප්තැම්බර් 21 කරන ලද පැමිණිල්ලකින් පසුව ඔහු ඇතුළු 30 දෙනකුට අධික පිරිසකගෙන් සාක්ෂි ගත්තා. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු රිද්ම වීරවංශ කියන අක්කගේ බාලපුතාට, ලලිත් පුෂ්පකුමාර කියන අක්කගෙ වැඩිමල් පුතාට, ආනන්ද අශෝක කුමාර නමැති ඔහුගේ අක්කගෙ සැමියාට, ආනන්ද ප්‍රියදර්ශන නමැති ඔහුගේ නංගිගෙ ස්වාමි පුරුෂයාට, නිලානි වීරසිංහ කියන ඔහුගේ නංගිට ඇතුළු 40 දෙනකුට වාහන දීලා තිබෙනවා. මේක පළිගැනීමක් නෙවෙයි. ඒ පිළිබඳ ඔහු ඇමැතිව ඉන්න කාලෙ පළමු හෙළිදරව්ව සිදු වී තිබෙනවා.

මෙහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලටද අමාත්‍යවරු මෙසේ පිළිතුරු දුන්නේය.

මාධ්‍ය - රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ ආශු මාරසිංහ මන්ත්‍රිවරයාත් අත්අඩංගුවට ගන්නවා.

නි. අමාත්‍ය අජිත් පී. පෙරේරා - ඔහුගේ ප්‍රකාශ පොලිසිය සටහන් කරගෙන තිබෙනවා. ඒත් එම ධුර කාලයේ මේ කටයුතු සිදුවී නැහැ.

අමාත්‍ය රාජිත සේනාරත්න - මම තමයි ඔහු පත් කළේ. ඔහුට වීරවංශ ඇමැතිත් එක්ක කටයුතු කරන්න බැරි නිසා ඔහු ඉල්ලා අස් වුණා.

මාධ්‍ය - එවකට සිටි ලසන්ත අලගියවන්න නියෝජ්‍ය ඇමැති අත්අඩංගුවට ගන්නවද?

අමාත්‍ය රාජිත සේනාරත්න - මේ සම්බන්ධ 'බී' වාර්තාවෙ ඔහුගේ නම නැහැ. ලසන්ත අලගියවන්න කිසි කෙනකුට වාහන දීලා නැහැ. විනාශ වී තිබූ ඉන්ජිනේරු සංස්ථාවටම මම කෝටි 29ක් එකතු කරලා දුන්නා. ඊට පස්සෙ දේශපාලන තීන්දු අරගෙන එම ආයතනය විනාශ කළා. සම්බන්ධීකරණ නිලධාරීන් කියල හාරසිය ගණනක් පත් කොට තිබෙනවා.

මාධ්‍ය - මෙගාඩීල් හොයනව කියලා ඇවිත් හොයන්නෙ වාහන අවභාවිත ගැනද?

නි. ඇමැති අජිත් පී. පෙරේරා - ලක්ෂ 916ක අවභාවිතයක් නිසා රජයට මුද්ල අහිමි වෙලා. ඒක මෙගා ඩීල් ප්‍රශ්නයක් නෙවේද? වාහන 40ක් හිමිකම් නැතිව ඥාති හිතමිතුරන්ට බෙදා හැරීම මට නම් මෙගා තමයි. වාහන 40ක් කියල මේවා නොසලකා හරින්න බැහැ.

මාධ්‍ය - විමල් වීරවංශ අත්අඩංගුවට ගන්නා බව කලින්ම ප්‍රකාශ වුණා. කොහොමද එහෙම වෙන්නේ?

නි. ඇමැති අජිත් පී. පෙරේරා - ඔහු කලින්ම ඒක දැනගෙන ඉන්න ඇති. ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානමක් තිබෙන බව පරීක්ෂණවලදී ඔහුට අවබෝධ වෙන්න ඇති. වැරැදි කරන අය එහෙම වෙනව කියලා දන්නවා.

මාධ්‍ය - තමන් 2000 වසරේ ගෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වත්මන් රජය දැන් ගෙන එන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මහත්මිය කරන සඳහන ඇත්තද?
අමාත්‍ය රාජිත සේනාරත්න - වත්මන් ව්‍යවස්ථාව ඒකීය රාජ්‍යයක් යටතේ සිදු කරනවා. එදා ගෙනාවේ ෆෙඩරල් ක්‍රමයකටත් එහා ගිය සංගම් ව්‍යුහයක්. මූලික හරයත් වෙනස්. ඉතිං කොහොමද ඒකයි කියන්නෙ.

මාධ්‍ය - එදා ඔබ විරුද්ධ වුණාද?

මම නම් විරුද්ධ වුණේ නැහැ. නමුත් එතැන ප්‍රශ්නයක් තිබුණා. එම ව්‍යවස්ථාව එක්ක එතුමියගේ ධුරකාලය දිගු කරගන්න පරිච්ඡේදයක්, මහාචාර්ය ජී.එල්. පීරිස් ගෙනාවා. ඒ නිසා එජාපයත් එදා විරුද්ධ වුණා.

මාධ්‍ය - ජනාධිපති ක්‍රමය වෙනස් නොකරන බවට ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව යෝජනාවක් ගෙනත් තිබෙනවා. ඔබලා ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දුවට එය පටහැනියිද?

අපි විධායක ජනාධිපතිවරණය අහෝසි කරන ප්‍රතිපත්තියේ ඉන්නවා. එහෙම යෝජනාවකට ජනාධිපතිතුමා එකඟ වෙලා අනුමැතිය දීලා නැහැ. ඒ යෝජනා කරන අය සමඟ මම සාකච්ඡා කළා. ඒකට හේතු ඒ අය කිව්වා. ඕන කෙනකුට අදහස් ගේන්න පුළුවන්. ඒත් විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන තීරණයේ ජනාධිපතිතුමා සිටිනවා.
මාධ්‍ය - හම්බන්තොටින් සංවර්ධන කලාපයට ඉඩම් ගැනීම නිසා විශාල පිරිසකට නිවාස නැති වෙන බවට විපක්ෂය නඟන චෝදනාව බරපතළයි?

මත්තල ගුවන් තොටුපොළට ඉඩම් ගන්න විට 1,065 දෙනකුට නිවාස නැති වුණා. නිවාස දුන්නෙ 10 දෙනකුට විතරයි. අනෙක් අයට අද වන විටත් නිවාස නැහැ.

ලාෆ් ගෑස් සමාගමට අක්කර 69.3ක් මා ශැන්ඩ්‍රිලා එකක්ම අක්කර 26.25ට ඊට පසුව 19.46, ග්‍රින්වුඩ් හොලිඩේ ආයතනයට අක්කර 1.25යි. ගුවන්තොටුපොළට අක්කර 707.74යි. වරාය පළමු අදියරට අක්කර 2,707යි. දෙවැනි අදියරට අක්කර 1,203යි. රයිගම් සෝල්ට් ආයතනයට අක්කර 203යි. එවැනි සියලු ඉඩම් වෙන් කිරීම අක්කර 10,301ක් එතුමා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් විතරක් අත්කර ගෙන තිබෙනවා. එහෙම කෙනා තමයි අද කියන්නෙ ජනතාවගෙ ඉඩම් ගන්නවා කියලා කියන්නෙ.

මාධ්‍ය - ව්‍යාපෘති ක්‍රියාත්මක කරන විට කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව දැනුවත් කරනවා කිව්වට එහෙම කරල නැහැ නේද?

කැබිනට් එකට ගේනවා. ඒ කරල සංවාදයට ලක් කරනවා. පාර්ලිමේනතුවටත් පනතක් ලෙස ගේනවා.

මාධ්‍ය - බැඳුම්කර සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නෙ නැද්ද?

ඒක නීතිපති දෙපාර්තමේන්තුවට ගොනුකර තිබෙනවා. ඔහු මාධ්‍යයට උත්තර දෙන්නේ නැහැ.

මාධ්‍ය - පසුගිය ආණ්ඩුව සින්නක්කරව ඉඩම් දුන්නෙ නැති බව බන්දුල ගුණවර්ධන කියනවා?

ශැන්ඩ්‍රිලා හෝටලයට, ඩෝන් සමාගමට දුන්නෙ කවුද? බෙලිඅත්තෙ හටපු මැර සභාපතිටත් අක්කර 34ක් දුන්නා. අපි ඒවා ඉදිරියට හෙළි කරනවා.

මාධ්‍ය - වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු නතර වී තිබෙන්නේ කාගේ වරදින්ද?

මම ඒවට ඇඟිලි ගහන්නේ නැහැ. එහෙම කළාම දේශපාලනීකරණය කළා කියනවා. මම කාගෙවත් මාරුවීම් වෙනස් කරන්න කියන්නෙ නැහැ. වැහිච්ච රෝහල් ආයෙත් අරින්න ඕනෑ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon