ජාලියට ඇප නෑ

  👤  2908 readers have read this article !
By mawbima 2017-01-12

අමිල අබේරත්න

ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ලබන 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (11දා) නියෝග කළාය.

එලෙස නියෝග කරනු ලැබුවේ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොඩනැඟිල්ලක් මිලදී ගැනීමේදී අයථා ලෙස ඇමෙරිකන්... ඩොලර් 3,30,000ක කොමිස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ගොනුකළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදීය.

වික්‍රමසූරිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් පැවැසුවේ හිටපු තානාපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා දුර්වල බව හා ඔහු දැනට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවය.

ජාතික රෝහලේ හෘද රෝග අංශයේ විශේෂඥ වෛද්‍යවරයකු සහතික කළ හිටපු තානාපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක්ද ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරමින් ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඇප ලබාදෙන ලෙස ඉල්ලා විශේෂ ලිඛිත ඇප අයැදීමක්ද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.

අධිකරණයට කරුණු දක්වමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි නිලධාරියා ප්‍රකාශ කෙළේ ඇමෙරිකාවේ තානාපති කාර්යාලයට ගොඩනැඟිල්ලක් මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුව හරහා අයථා ලෙස ඉපැයූ මුදල්වලින් ඇමෙරිකන් ඩොලර් 2,50,000ක මුදලක් ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වික්‍රමසූරිය මහතා විසින් ඔහුට අයත් 'සිලෝන් රෝයල් ටීස්' නමැති සමාගමේ සහ ඔහුගේ මිතුරකුට අයත් මෙරට තිබෙන සමාගමක් වන පී.පී.පී. (ර්ථීර්ථීර්ථී) ඉන්ටර්නැෂනල් (ධ්දබඥපදචබඪධදචත) නමැති සමාගමේ ගිණුම්වලට බැර කර ඇති බවයි.

හිටපු තානාපතිවරයාගේ ශ්‍රී ලාංකික මිතුරෙක් වන මිනෝද් බස්නායක නමැත්තකුට අයත් වොෂින්ටනයේ පිහිටි 'පේපර් කොට්' නමැති සමාගමේ ගිණුම්වලට ගොඩනැඟිල්ල මිලදී ගැනීම හරහා ලබාගත් අයථා මුදල්වලින් ඇමෙරිකන් ඩොලර් 82,200ක මුදලක් යවා ඇති බවද අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා පැවැසීය.

ඒ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා විමර්ශන ඇමෙරිකාවේ එෆ්.බී.අයි (ජ්ඕධ්) ආයතනය සමඟ මේ වන විට සිදුකරමින් පවතින බවද එම නිලධාරියා ප්‍රකාශ කළ අතර 'පේපර් කොට්' නමැති සමාගම ඇමෙරිකාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොඩනැඟිල්ලක් මිලදී ගැනීමේ සිද්ධියට කිසිම සම්බන්ධයක් නැති බවට විමර්ශනවලින් තහවුරු වී ඇති බවද එම නිලධාරියා අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.

ඉහත කරුණු සහ ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සලකා කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ලබන 13 වැනිදා නඩුව කැඳවීමට තීරණය කළ අතර හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට සුව වී ඇත්නම් ලබන 13 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon