ඇෆ්ගනිස්තාන් වේගපන්දු යවන්නා වෙඩි ප්‍රහාරයකට ලක්වෙයි

  👤  2898 readers have read this article !
By mawbima 2017-01-12

ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වමත් වේගපන්දු යවන ක්‍රීඩකයකු වන ශාපූර් සර්දාන් නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරට ලක්ව රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.

පසුගිය සති අන්තයේදී සිය සහෝදරයා සමඟින් සිය නිවෙස බලා යන අතරමඟදී මුහුණ වසා ගත් අයකු සර්දාන්ට මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැත.

වෙඩි පහරට ලක්ව සුළු මොහොතකට පසුව සර්දාන් රෝහල්ගත කර ඇතත්, මෙතෙක් ඔහුගේ තත්ත්වය පිළිබඳව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර නැත.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම වේගපන්දු යවන්නා ලෙස පිළිගැනෙන සර්දාන් එක්දින තරග 39කදී කඩුලු 41ක් හා විස්සයි-20 තරග 27කදී කඩුලු 26ක් බිඳ හෙළා තිබේ.

තවද 2015 වසරේදී ඕස්ට්‍රේලියාවේදී හා නවසීලන්තයේදී පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග 6කදී කඩුලු 10ක්ද ඔහු විසින් බිඳ දමා තිබිණි.
කෙසේ වුවත් සර්දාන් මෙවැනි වෙඩි ප්‍රහාරයකට ලක්වූ පළමු අවස්ථාව මෙය නොවන අතර මින් පෙරද ඔහු වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බවද පැවැසේ.

සටහන _ විචිත්‍ර වීරසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්