දන්දෙණිය සභාපති තනතුර දන් නොදෙන ලකුණු

  👤  2838 readers have read this article !
By mawbima 2017-01-12

විචිත්‍ර වීරසිංහ

එළැඹෙන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් නිලවරණයේ සභාපති පුටුව සඳහා දෙදෙනකු අතර තරගයක් නිර්මාණය වී ඇති බව "මව්බිම"ට වාර්තා වේ.

ඒ අනුව 2013 වසරේ සිට මෙම තනතුර හොබවන සුරාජ් දන්දෙණිය මෙවරත් බැඩ්මින්ටන් සංගමයේ සභාපති ධුරය සඳහා තරග වදින අතර, බැඩ්මින්ටන් ක්‍රීඩාව වෙනුවෙන් විවිධාකාරයෙන් සම්බන්ධ වී සිටින රොහාන් ද සිල්වා මහතා බැඩ්මින්ටන් මුල් පුටුවට රැගෙන ඒම සඳහා කිහිප දෙනකු උත්සාහ දරන බවද පැවැසේ.

මේ සම්බන්ධයෙන් වර්තමාන සභාපති සුරාජ් දන්දෙණිය මහතාගෙන් "මව්බිම" කළ විමසීමකදී ඔහු පැවැසුවේ තමන් මෙවරත් ඒ සඳහා තරග වදින බවත්, පසුගිය වරට වඩා මෙවර විශාල සහයෝගයක් තමන් වෙත ලැබී ඇති බවත්ය.

"මම මුලින්ම තරග වදින අවස්ථාවේදී බොහෝ දෙනා හිතුවා මම පරාද වේවි කියලා. දෙවැනි වර ඉදිරිපත් වුණාම හිතුවා ඊටත් වඩා පරාද වේවි කියලා. මෙවර මට ඒ අවස්ථා දෙකටම වැඩිය සහයෝගය ලැබී තියෙනවා" යැයි පැවැසූ දන්දෙණිය මහතා බැඩ්මින්ටන් ක්‍රීඩාවට සම්බන්ධ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන්ද ඇති වී තිබෙන කනගාටුදායක තත්ත්වය නැති කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවද කීය.

"වර්තමානයේදී අවුරුදු 18 හෝ 19 තෙක් මවුව්පියන් නිසා දරුවන් ක්‍රීඩාවේ යෙදෙනවා. ඊට පස්සේ මවුපියන්ගෙන් මිදුනම ක්‍රීඩාව වෙනුවෙන් කැපවීම් කරන්නේ නැහැ.

අතේ තියෙන්නේ ෆෝන් එක. ඒකෙන් ෆේස් බුක් එකයි, අනෙකුත් දේවලුයි එක්ක තමයි ඉන්නේ. ඉතින් කොහොමද ලංකාවේ ක්‍රීඩාවක් ඉදිරියට යන්නේ. මම තරුණ ක්‍රීඩක-ක්‍රීඩිකාවෝ ඉදිරියට ගේන්න හැදුවා. එහෙම ගෙනැල්ලා විදෙස් සංචාරත් හදලා දුන්නා. එහෙම කරලා දැන් කියනවා තනි තරග විතරක් සෙල්ලම් කරන්නම් කියලා තව කට්ටියක් කියනවා යුගල තරගය පමණක් ක්‍රීඩා කරන්නම් කියලා. එයාල අපට නීති දානවා. එයාල හිතන්නේ බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් විදෙස් තරග එකක් දෙකක් ගියාම එයාල තමයි දක්‍ෂයෝ කියලා. අශ්වයන්ව වතුර ගාවට ගේන්න පුළුවන්. ඒත් වතුර පොවන්න බැහැනේ. ක්‍රීඩාවේ යෙදෙන දරුවන්ට අද වෙලා තියෙන්නේ ඔය වගේ තත්ත්වයකුයි.

අද මේ ක්‍රීඩාව හදවතින්ම කරන්නේ පරණ ක්‍රීඩකයන් පමණයි. කොහොම වුණත් මේ තත්ත්වය ඉදිරියේදී මම වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා" යනුවෙන්ද දන්දෙණිය මහතා ප්‍රකාශ කළේය.

බැඩ්මින්ටන් සභාපති පුටුව සඳහා තරග වදිනවාද නැද්ද යන්න රොහාන් ද සිල්වා මහතාගෙන් විමසීමට උත්සාහ කළද එම උත්සාහය ව්‍යර්ථ විය.
කෙසේ වෙතත් පසුගිය වර බැඩ්මින්ටන් සභාපති පුටුව සඳහා තරග වැදුණු මහාචාර්ය රංජිත් ද සිල්වා මහතා සභාපති පුටුව සඳහා මෙවරද තරග වදින බව මුලදී පැවසුණද ඔහු නැවත තරග වැදීමට කැමැත්තක් නොදක්වන බවද දැනගන්නට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්