ජාතික පාසල් ගුරු මාරුව කිසි දිනෙක ඉටුවන්නේ නෑ

  👤  2938 readers have read this article !
By mawbima 2017-01-12

දයා පෙරේරා

දීර්ඝ කාලයක් ජනප්‍රිය ජාතික පාසල්වල සේවය කරන ගුරුවරුන් මාරු කරන බවට අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කළත් එය කිසි දිනෙක ඉටු නොවන්නක් බව ස්වාධීන ලංකා ගුරු සංගමය පවසයි.

අසූව දශකයේ සිට මේ දක්වා සෑම රජයකම අධ්‍යාපන ඇමැතිවරුන් වරින් වර එවැනි ප්‍රකාශ කළත් සිදුවූයේ ගුරුවරුන් මාරු කිරීමක් නොව ඒ සඳහා පියවර ගත් නිලධාරීන්ට මාරුවීමට සිදුවීම බව ස්වාධීන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් සරත් කහගල්ල 'මව්බිම'ට කීය.

අවුරුදු අට, දහය වැනි කාලයක් එක දිගටම එකම පාසලේ සේවය කළ ගුරුවරුන් මාරු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය වසරක් පාසා සිදුකළ ප්‍රකාශ, මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ වූ නමුත් නිසි පරිදි මාරුවීම් සිදු නොවූ බවත් එම යෝජනා පදනම් කර ගෙන ඇතැම් විදුහල්පති/විදුහල්පතිනියන් තමන් අකැමැති ගුරුවරුන් මාරු කළ අවස්ථා ඕන තරම් පෙන්වා දිය හැකි බවත් එවැනි මාරුවීම් සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සමිති ක්‍රියාත්මක වූ බවත් හෙතෙම සිහිපත් කෙළේය.

කොළඹ හා නාගරිකයේ ජනප්‍රිය ජාතික පාසල්වල සේවය කරන ගුරුවරුන්ගේ කලත්‍රයා බොහෝ විට බලවත් බැවින් ඔවුන් ගුරු මාරුවලට ඍජුව බලපෑම් කරන බවද ලේකම්වරයා කීවේය.

මේ ගුරුවරුන් මාරු කරනු තබා වාර්ෂික ස්ථාන මාරු පවා තවම ක්‍රියාත්මක වී නැති බවත් ජාතික ගුරු මාරු මණ්ඩල සතියට දෙවරක් බැගින් ඉකුත් මාස හතරක් පුරා අනුමත කළ කිසිම මාරුවක් මේ දක්වා සිදුකර නැති බවත් ස්වාධීන ලංකා ගුරු සංගමය කියයි.

ජාතික පාසල් මාරු එසේ වුවත් පළාත් සභා ගුරු මාරු සියල්ලම සිදුකොට අභියාචනාද සලකා බලා අවසන් බවත් ලේකම්වරයා කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon