චීන-ශ්‍රී ලංකා ආයෝජන කලාපයේ සමාරම්භක උත්සවය දා කලහකාරීව හැසිරුණු පිරිස් සොයා විශේෂ පොලිස් මෙහෙයුමක්

  👤  2877 readers have read this article !
By mawbima 2017-01-12

අම්බලන්තොට - අජිත් දුෂ්පකුමාර

හම්බන්තොට - මිරිජ්ජවිල නව චීන - ශ්‍රී ලංකා ආයෝජන කලාපයේ සමාරම්භක උත්සවය පැවැති පසුගිය 7දා කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගය හරස් කරමින් කලහකාරී ලෙස හැසිරුණු පිරිස් සොයා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායමක් මෙහෙයුමක් දියත් කර ඇත.

නව ආයෝජන කලාපයට සහාය දක්වන පිරිස සහ එයට විරෝධය දක්වන පිරිස අතර ගැටුම සිදුවූ දිනයේ මිරිජ්ජවිල ප්‍රදේශයේ සිට අම්බලන්තොට නෝනාගම ප්‍රදේශය දක්වා මාර්ගය අවහිර වීමෙන් වාහන ගමනාගමනයට පවා බාධා එල්ල වී තිබිණි.

කලහකාරී ලෙස හැසුරුණු පිරිස් සෙවීමේ මෙහෙයුමට තංගල්ල, අම්බලන්තොට පොලිස් ස්ථානයන්හි විශේෂ පොලිස් මෙහෙයුම් කණ්ඩායමක් එක්ව සිටිති.

එලෙස අවහිර වී තිබූ මාර්ගය දෙපස වෙළෙඳසල්වල සවිකර ඇති සී.සී.ටී.වී. කැමැරා දර්ශන ලබා ගැනීමටද මෙහෙයුම් කමිටුව පියවර ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 41 දෙනකු අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවද පොලිසිය පැවැසීය.

මාර්ගයේ ධාවන කටයුතු කිරීමට හැකිවන අයුරින් පොලිසිය මැදිහත් වී මාර්ගය පිරිසුදු කිරීම් කළද මාර්ගයට දමා තිබූ අපද්‍රව්‍ය මාර්ගය දෙපස ගොඩ ගසා තිබීම නිසා පදිකයන් අපහසුතාවට ලක්වී ඇත. එලෙසම ටයර් පිලිස්සීම නිසා මාර්ගයේ දැලි සහිත දූවිල්ලක් පැවැතීම නිසා මාර්ගය දෙපස අවට නිවෙස්වලට මෙන්ම වෙළෙඳසල්වලටද දැඩි තර්ජනයක් එල්ල වී තිබේ. සුළඟත් සමඟ මාර්ගයේ තිබෙන මෙම දැලි සහිත දූවිල්ල අවට ප්‍රදේශවලට ද පැතිර යන අතර වාහන ගමනාගමන කටයුතු සිදුවන කොළඹ - කතරගම මාර්ගයේ නිතරම වාගේ මෙම දූවිලි ස්වභාවය අවට ප්‍රදේශයේ පැතිර යමින් තිබේ. මේ නිසා අවට ප්‍රදේශවල ජීවත් වන කුඩා දරුවන් ඇතුළු පිරිස් ශ්වසන රෝගවලට ගොදුරු වීමේ අවදානමක් තිබෙන බවද ප්‍රදේශවාසීහු පවසති.

අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් මැදිහත්ව කොළඹ - කතරගම මාර්ගය දෙපස තිබෙන සියලුම අපද්‍රව්‍ය ඉවත් කිරීමටත් මාර්ගය සෝදා දැමීමටත් කටයුතු යොදා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්