සැප වෑන් එකකින් ගවයන් හොරාට ගෙන ගිය දෙදෙනාට රු. 84,000ක් දඩ

  👤  2901 readers have read this article !
By mawbima 2017-01-12

බළපිටිය - දම්සරී ලියනගේ

සුඛෝපභෝගී වෑන් රථයකින් බලපත්‍ර නොමැතිව එළ ගවයන් ප්‍රවාහනය කරමින් සිටියදී මතුගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනාට එක් අයකුට රුපියල් හතළිස් දෙදහස (42,000) බැගින් රුපියල් අසූ හාරදහසක (84,000) දඩ මුදලක් ගෙවන ලෙස මතුගම මහෙස්ත්‍රාත් වසන්ත කෝසල සේනාධීර මහතා පසුගියදා (9දා) නියම කළේය.

පොලිසිය භාරයට ගන්නා ලද එළ ගවයන් දෙදෙනා රැකබලා ගැනීම සඳහා භාර දීම පණිස සුදුසු ස්ථානයක් බලා අධිකරණයට දැනුම් දෙන ලෙසත් එළ ගවයන් ප්‍රවාහනය කරන ලද වෑන් රථයේ අයිතිකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී මහෙස්ත්‍රාත්වරයා මතුගම පොලිසියට දැනුම් දුන්නේය.

මෙසේ දඩ මුදල් නියම කරන ලද්දේ මිහිරිපැන්න පාර, දර්ගා නගරය, අලුත්ගම පදිංචි දෙදෙනකුටය.

එළ ගවයන් පටවන ලද වෑන් රථයක් පැමිණෙන බවට පසුගිය දෙසැම්බර් 27දා මතුගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පී.කේ.ඩී. රුද්‍රිගු මහතාට ලැබුණ තොරතුරකට අනුව මතුගම, වෑත්තෑව ප්‍රදේශයේදී මාර්ග බාධකයක් යොදා රථ වාහන පරීක්ෂාවක් සිදුකර ඇත. එදින අලුයම 3.00ට පමණ බදුරලිය සිට මතුගම දෙසට ධාවනය වෙමින් තිබූ සැකකටයුතු වෑන් රථයක් නතර කිරීමට උත්සාහ කිරීමේදී එය පොලිස් නිලධාරීන්ගේ ඇඟට කපා නොනවත්වා ධාවනය කර තිබේ. පසුව වෑන් රථය කිලෝමීටර් 20ක් පමණ ලුහුබැඳ වෙඩි තබා නවුත්තුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා විට එහි පැමිණි දෙදෙනකු වෑන් රථය මහ මඟ දමා පලාගොස් තිබේ. එහි එළ ගවයන් දෙදෙනකු සිට ඇති අතර ගවයන් දෙදෙනා සහ වෑන් රථය පොලිසිය භාරයට ගෙන ඇති අතර පසුව සැකකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන තිබේ.

සත්ත්ව හිංසා ඇති වන ආකාරයෙන් එළ ගවයන් දෙදෙනාගේ කටවල් හා ගාත් ගැටගසා ප්‍රවාහනය කරමින් තිබූ බව මතුගම පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon