තේක්ක දැව හොරෙන් ගෙන ගිය දෙදෙනා ශරීර ඇප මත මුදාහරී

  👤  2824 readers have read this article !
By mawbima 2017-01-12

හසලක - සුනිල් ඉහළගෙදර

බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී අයුරින් කපා කුට්ටි කරන ලද තේක්ක දැව තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කිරීමේ චෝදනාව යටතේ මහියංගණය අධිකරණය වෙත පෙරේදා (10දා) ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනකු රුපියල් ලක්ෂ හතරක ශරීර ඇප මත මුදා හැර තිබේ.

බිබිල ප්‍රදේශයේ සිට මහනුවර බලා ධාවනය වූ ලොරි රථයක් ඉකුත්දා (09දා) අලුයම හසලක නගරයේදී නතරකොට පරීක්ෂා කිරීමේදී එම රථයේ දහයියා මලු රැගෙන යන මුවාවෙන් කපා කුට්ටි කරන ලද තේක්ක දැව තොගයක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන්හට හැකිවී තිබේ.

බලපත්‍ර රහිතව දැව ප්‍රවාහනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට පත් මෙම සැකකරුවන් දෙදෙනාගෙන් අයකු මහනුවර වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනෙක් සැකකරු බිබිල පදිංචි අයකු බවද අනාවරණය වී තිබේ. මෙම දැව බිබිල ප්‍රදේශයේ ගෙවතුවලින් කපා ගත් දැව බවත් දැව තොගය වත්තේගම ප්‍රදේශයට රැගෙන යන බවත් පවසා ඇත. සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අයකුට රුපියල් ලක්ෂ 02 බැගින් දෙදෙනාට ලක්ෂ 04ක ශරීර ඇප මත මුදාහැර තිබේ. දැව තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නැත.

හසලක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. එම්. රත්නායක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සුනිල් කරුණාරත්න මහතා සමඟ කොස්තාපල් බී. ජී. සරත් (37720) නිලධාරීන් පරීක්ෂණ පවත්වා සැකකරුවන් අධිකරණයට වෙත ඉදිරිපත් කරන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්