වැලිගම හොර සල්ලි ෆැක්ටරිය අල්ලයි

  👤  2871 readers have read this article !
By mawbima 2017-01-12

රත්ගම - ගුණපාල ඉරත්නවල්ලි, පෝද්දල - යූ. එම්. තිලකරත්න, ගාල්ල- කේ. ඒ. එස්. කුමාර, ලලිත් රුහුණගේ

වැලගම, කනංකේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ මුද්‍රණාලයක් වැටලූ වඳුරඹ පොලිසිය ව්‍යාජ නෝට්ටු, මුද්‍රණ උපකරණද සමඟ සැකකරුවන් දෙදෙනකු පසුගියදා (9දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉමදුව කනංකේ පදිංචි විසි දෙහැවිරිදි තරුණයකු සහ කරන්දෙණියේ පදිංචි ඔහුගේ මස්සිනා වන තිස්පස් හැවිරිදි පුද්ගලයෙකි.
මොවුන් දෙදෙනා වඳුරඹ නගරයේ වෙළෙඳසලකට පැමිණ භාණ්ඩ මිලදී ගෙන රුපියල් පන්දහසක නෝට්ටුවක් වෙළෙඳසලට දී ඇත. එහෙත් වෙළෙඳසලේ සිටි කාන්තාව රුපියල් පන්දහසක් මාරු කිරීමට නොමැති බව පවසා ඇත.

එම නෝට්ටුව ව්‍යාජ එකක් බවට සැක කළ එම කාන්තාව සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථයේ අංකයද සමඟ පොලිසියට දුරකතනයෙන් දැනුම් දී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය මාර්ග බාධක යොදා ඉඳුරුපත්විල ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනා සමඟ ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගෙන ඇත.

පසුව සැකකරුගෙන් කරනු ලැබූ ප්‍රශ්න කිරීමවලදී කනංකේ ප්‍රදේශයේ එක් සැකකරුවකුගේ නිවෙසේ තිබී ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමට යොදාගත් පරිගණකයක්, මුද්‍රණ යන්ත්‍රයක්, ව්‍යාජ මුදල් නිපදවීමට යොදාගත් කඩදාසිද සොයාගෙන ඇත.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සැකකරුවන් දෙදෙනා කොහිල කපා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් කරගෙන යන අතරතුර මේ ව්‍යාජ මුදල් මුද්‍රණය කර ඇති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්