යුද්ධය නිසා කඩා වැටුණු රට ණය උගුලක හිරවෙලා

  👤  2824 readers have read this article !
By mawbima 2017-01-12

ගම්පහ - කේ.ඒ. සිසිර කුමාර,  යක්කල - තිලක් ප්‍රියදර්ශන ලියනගේ

'අපිට ඕනේ ටික දෙනෙක් කෝටිපතියන් කරන්න නෙවෙයි, රට සංවර්ධනය කර සෑම අයකුම ධනවතුන් කරන්නයි අපිට ඕනේ' යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අගමැතිවරයා මෙසේ කීවේ ගම්පහ සණස සංවර්ධන සමාගමේ වෝඩ් සිටි වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීම නිමිත්තෙන් ගම්පහ පැවැති උත්සවයේදීය. අගමැතිවරයා මෙසේද කීය.

ගම්පහට හොඳම සංවර්ධනය ආවේ සණසෙන්. 1977දී අපි විවෘත ආර්ථිකය ගෙනාව. විවෘත ආර්ථිකය නොතිබුණා නම් මෙහෙම දියුණු වෙන්න බෑ. විවෘත ආර්ථිකය හරහා රටේ විශාල නැඟීමක් වුණා. රටේ ධනවත්ම සමාගම කීල්ස් - හේලීස් නෙවෙයි. ධනවත්ම වාණිජ සමාගම සේවක අර්ථ සාධක සමාගමයි. රට සංවර්ධනය කිරීමට සණසත් විශාල දායකත්වයක් දී තිබෙනවා. එදා එජාප රජයෙන් මහවැලිය ආරම්භ කළා. මහපොළ ශිෂ්‍යත්ව දුන්නා. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කාලේ විවෘත ආර්ථිකය නිසා රටට විශාල සෙතක් වුණා. වේගවත් ගමනක් අපි ගියා. වෙළෙඳ කලාප 2ක් කළා. නිවාස හැදුවා. බෙදුම්වාදී යුද්ධය නිසා ඒ වේගවත් ගමන කැඩුණා. යුද්ධයෙන් පස්සෙත් ණය ගත්තා. ණය බරින් රට වැටුණා. අපි ඒ වැටුණු රට ගොඩ නැඟීමට කටයුතු කරනවා. අද තරුණයන්ට හොඳ කාලයක් එනවා. මෛත්‍රිපාල ජනාධිපති අපි එකතු වෙලා අපි යහපාලනයෙන් රට සංවර්ධනය කරනවා. පාරිභෝගික සමාජ ඇති කරනවා. රට සංවර්ධනය කිරීම අපේ යුතුකමක්. ග්‍රාමීය නාගරික ආර්ථිකය දියුණු කරනවා. ශක්තිමත් කරනවා.

පාර්ලිමේන්තුවේ හොඳම පක්‍ෂ දෙකත් හවුල් වී සංවර්ධනයක් නෑ කියලා සමහරු කීවා. දේශීය විදේශීය ආයෝජකයන් හවුල්ව මේ ගමන යා යුතුයි. අද අපි රට සංවර්ධනය කරා යන හැටි පෙන්වලා තියෙනවා. දේශීය විදේශීය ආයෝජන ඕනේ. රට ණය බරින් මුදා ගන්න ඕනෑ.

අපි රට භාර ගන්න කොට රටේ දෛනික වියදමට මුදල් තිබුණේ නෑ. 1977 ජයෙන් පසු ප්‍රේමදාස අගමැති කාලේ චීනය දියුණු නෑ. බටහිර මට්ටමේ එක ආපනශාලාවක් බීජිං නගරයේ තිබුණේ නැහැ.

ලංකාවේ බස්නාහිර පළාත ඉතා විශාල දියුණුවකට පත්කළ යුතුයි. කොස්වින්නට අධිවේගී මාර්ගය එනවා. එතැනින් පොතුහැරට, ඊළඟට මහනුවර. එතැනදී ජපානය උදවු කරනවා. පැයකින් නුවරට යන්න පුළුවන්. ගුවන් තොටුපොළ දියුණු කළා. මේවට ආයෝජන ඕන. හම්බන්තොට, මොනරාගල නොදියුණු පළාත් දියුණු කරන්න ඕන. නුවර සිට වැල්ලවාය දක්වා සංවර්ධන තීරුවක් හදනවා.

විදේශ ආයෝජන ආවාම එවායේ ප්‍රතිලාභ ලැබෙන්නේ අපේ රටේ මිනිසුන්ට. ත්‍රිකුණාමලය අද විශාල නගරයක්. සිංගප්පූරුව, ඉන්දියාව, ජපානය සමඟ එක්වී සංවර්ධනය වෙනවා. ජනාධිපතිතුමාගේ පිබිදෙන පොළොන්නරුව දියුණු කරනවා.

බිංගිරියේ අක්කර 700ක වෙළෙඳ කලාප තැනීම ගැන සාකච්ඡා කරනවා. ඉරණවිල ඇමෙරිකානු හඬ අවසන් කර අක්කර 400ක සංචාරක සංකීර්ණ හදනවා. රටට හොඳ ආදායම් ලැබෙනවා. රැකියා අවස්ථා ලැබෙනවා. ආර්ථිකය සංවර්ධනය වෙනවා.

එජාපයයි - ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි අතර ප්‍රශ්න තිබුණා. නමුත් කවුරු දිනුවත් අද ජාතික ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නෑ. අපි එකතු වෙලා ආණ්ඩුව පිහිටෙව්වේ ඒ ජාතික ප්‍රතිපත්තිය රැකගන්නයි. විදේශ ආයෝජකයෝත් ඒකට කැමැතියි. අපි මුළු රටම සංවර්ධනය කරනවා. රැකියා ප්‍රශ්න විසඳනවා. රට දියුණු කරනවා. සණස ආයතනය මේ කරන සේවාව අපි අගය කරනවා. මේ වගේ සංකීර්ණ හදපුවම ඒවට අලුත් ආයෝජකයෝ එනවා. ඉන් දියුණුව ලැබෙනවා.

සණස සංවර්ධන සමාගම ඇරැඹූ විශ්‍රාමික ක්‍රමයේ ප්‍රතිපල ලාභීන්ට සහතික පත් නිකුත් කිරීමත් මෙවර උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ජය ලැබූ ගම්පහ රත්නාවලි විදුහලේ සහ බණ්ඩාරනායක විදුහලේ සිසුන්ට සම්මාන ප්‍රදානය කිරීමත්, වෝඩ් සිටි ගොඩනැඟිල්ල ව්‍යාපාර සඳහා ලබාගත් අයට රක්‍ෂණ සහතික දීමත් මෙහිදී අගමැතිවරයා අතින් සිදුවිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්