ජනාධිපතිවූ දිනයේ හිතේ තිබුණේ බරක්: ජීවිතයේ සතුටුම දවස අද

  👤  2918 readers have read this article !
By mawbima 2017-01-12

උදේනි සමන් කුමාර   , මොරගහකන්දේ සිට

තම ජීවිතයේ වඩාත්ම සතුටට පත්වූ දිනය වන්නේ අද දවස බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මොරගහකන්ද ජලාශයට ජලය පිරවීම ආරම්භ කිරීමෙන් පසු පැවැති ඇලහැර ජන හමුවේදී පැවැසීය.

ජනාධිපති තනතුරට පත්වූ දිනය මගේ ජීවිතයේ සතුටුම දිනය යැයි කෙනෙක් හිතන්න පුළුවන්. එහෙත් අද වගේ සතුටක් එදා තිබුණේ නැහැ. පැවැරුණු මහා වගකීම නිසා හිතේ ඇතිවූ බරක් පමණක් එදා සිත තුළ පැවැති බවද ජනපති පැවැසීය.

මොරගහකන්ද ජලාශය ඉදිකොට ජලය පිරවීම පිළිබඳ මහා සිහිනය අද ඉටු වුණා යැයිද ජනපති ප්‍රීතියෙන් පැවැසීය.

සිය ගම්බිම් ඉදිවන මහා ජලාශය වෙනුවෙන් පූජාකර ඉවත්වූ ලග්ගල ජනතාවට ජනාධිපතිවරයා සිය කෘතඥතාව පළ කළේය.

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය පසුගිය වසර දෙක තුළ අප ඇති කළ දෙයක් නොව පසුගිය රජයේ අවිධිමත් සංවර්ධන ක්‍රියාවලිය නිසා ඇති වූවක් බවද ජනාධිපති පැවැසීය.
එම ප්‍රශ්න විසඳීමේ අභියෝගය අප භාරගෙන තිබෙනවා. අපි අපේ මාතෘ භූමිය සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පත් කරනවා යැයිද ජනපති ප්‍රතිඥා දුන්නේය.

මොරගහකන්ද ජලාශය සඳහා නිල් දියවර පිරවීම පිණිස අඹන් ගඟ හරස් කර ඉදිවූ වේල්ලේ ‍ෙදාරටු වැසීම ඊයේ (11දා) පෙරවරුවේ 9.22ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සුබ මොහොතින් සිදුවිය.

මොරගහකන්ද මිටියාවතට පැමිණි ජනාධිපතිවරයා අඹන් ගංගාවේ ජලය පිරිත් පැන් පිණිස ලබා ගැනීමෙන් අනතුරුව විදුලි බොත්තමක් ඔබා සුවිසල් බැම්මේ ‍ෙදාරටු වසනු ලැබීය. මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනය කර එම අවස්ථාවට සුබ පැතීය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඉහළ ඇලහැර ඇළ මාර්ගය සඳහා ප්‍රථම පස් පිඩැල්ල කපා සිහිවටන ඵලකයද විවෘත කළේය. රුපියල් මිලියන 50000ක වියදමින් ඉදිවන ඇළ මාර්ගය උතුරු මැද යකල්ල ප්‍රදේශය කිලෝමීටර් 65ක් දිගට විහිදේ.

එම ඇළ මාර්ගයේ කිලෝමීටර් 28ක් උමං මාර්ගයකි. යකල්ලේදී ඇළ මාර්ග තුනක් සහිතව පහත් බිම්වලට ජලය සැපයීමට නියමිතය. යකල්ල සිට මහකනදරාව දක්වා කිලෝමීටර් 23ක් දිග ඇළ මාර්ගයකින් ජලය ගෙනයනු ඇත.

මොරගහකන්ද කළු ගඟ යෝජනා ක්‍රම යටතේ හෙක්ටයාර් 94000ක් යල, මහ දෙකන්නය වගා කරනු ඇත. සමස්ත යෝජනා ක්‍රමය සඳහා ආසියානු සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා රජය එක්ව ඇ. ඩො. මිලියන 675ක් වැය කෙරේ.

ජනාධිපතිවරයා සහභාගිවූ ප්‍රධාන ජන හමුව ඇලහැර මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ පැවැති අතර කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක, මහවැලි හා පරිසර නියෝජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න, රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත, මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරු විශාල පිරිසක් ඊට සහභාගි වූහ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා

අවුරුදු 40ක 50ක රජරට ජනතාවගේ කඳුළු කතාවේ අවසානය දකින මොහොත අද. ඔබ දන්නවා මොරගහකන්ද ව්‍යාපාරයේ පළමු සක්‍යතා අධ්‍යයනය කළේ 70 දශකය මුල, 80 අග ගාමිණී දිසානායක මැතිතුමා දෙවැනි සඛ්‍යතා අධ්‍යයනය කළා. මම 1997 - 98 තුන්වන සක්‍යතා අධ්‍යයනය කළා. 2007 ජනවාරි 25දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ මොරගහකන්ද ව්‍යාපාරයට මුල්ගල තිබ්බා. අපට ශත 5ක් වත් තිබුණේ නැහැ. අවුරුදු පහක් ප්‍රමාද වුණා. අපට සල්ලි දෙන්නෙ නැත්තෙ ඇයි කියා අපි කෑගැහුවා. එදා සල්ලි දුන්නා නම් 2013දී ජලය පුරවන්න තිබුණා.

ජනතාවගේ දුර්භාග්‍ය පහුවෙලා අනුරාධපුර, පොළොන්නරුව, වයඹ, පුත්තලම, මාතලේ ප්‍රදේශවල ජනතාවගේ පානීය ජලය හා කෘෂි කාර්මික ජල අවශ්‍යතා ඉටු වන අවස්ථාවක් මේක.

අනුරාධපුර වසභ රජතුමා ක්‍රි.ව. 67 - 111 කාලයේ වාරි කටයුතු ආරම්භ කළා. මහවැලි සංවර්ධන සැලැස්ම යටතේ කොත්මලේ, මාදුරුඔය, වික්ටෝරියා ආදී පංච මහා ජලාශ ගාමිණී දිසානායක මැතිතුමා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ඉදිකළා. මාදුරුඔය ජලාශයේ සොරොව්ව ඉදිකිරීමේ කාර්යයේදී කැනේඩියානු ඉන්ජිනේරුවරු චන්ද්‍රිකා තාක්ෂණය යටතේ සොරොව්ව ඉදිවන ස්ථානය තීන්දු කර කැණීම් සිදු කරන අවස්ථාවේ එහිහමුවුණා පෞරාණික සොරොව්ව එම ස්ථානයේම තිබූ බව. අපේ ශේ‍ර්ෂ්ඨ වාරි නිර්මාණයේ අවස්ථාවක් විදියට අදත් එය ජනතාවට දැක ගන්නට පුළුවන්.

අපි කරන වැඩවලදී පාරිසරික සංරක්ෂණ කටයුතුවලට මුල්තැන දෙනවා. අපි කාර්ය සාධක බළකායක් හැදුවා. මම ජනවාරි 12දා රටට තිරසාර සංවර්ධන සැලැස්ම ඊළඟට ප්‍රකාශ කළා, රාජ්‍ය ගොඩනැඟිලි ඉදිකිරීමේ හරිත ගොඩනැඟිලි ප්‍රතිපත්ති රටට ඉදිරිපත් කළා. දැන් අපිට තිබෙන්නේ සියලු දෙනා එකතු වී මේ කටයුතු ඉදිරියට ගෙන යෑමයි.
දුගී භාවයෙන් රට නිදහස් කරනවා. සමෘද්ධි ව්‍යාපාරයට ඇතුළත් නැති ලක්ෂ ගණනක් සිටිනවා. පෞද්ගලික අංශයේ සුළු සේවකයන්, ගොවි ජනතාව ප්‍රශ්න සමඟ දුක සේ සිටිනවා. අපේ රටේ ගොවියා ජීවිත කාලය පුරාම දුක් විඳිනවා. මෙවැනි යෝධ ව්‍යාපෘති තුළ ඔවුන්ගේ ප්‍රශ්න විසඳනවා."

කෘෂිකර්ම සංවර්ධන ඇමැති දුමින්ද දිසානායක මහතා

"අපේ පළාතේ ගොවි පුතෙක් ජනපති වෙලා රටේ ගොවි ජනතාව වෙනුවෙන් ඉතිහාසයේ නොවූ විරූ වැඩ කොටසක් සිදු කරමින් සිටිනවා.

මහ පොළොවෙ පැළවෙන හිටවන දේ පමණයි අනාගතයට ඉතිරි වන්නේ. ඉතිහාසයේ මහා වාරිමාර්ගවල අරමුණ වුණේ විදුලිය. මේ ව්‍යාපාරයේ අරමුණ ගොවිතැන. මේ ව්‍යාපෘතිය විශාලයි. ඇළ මාර්ග බොහෝ දිගයි. නමුත් වේගවත් වැඩ කොටසක් සිදු වෙනවා"

මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාද කතා කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon