බුදු පිළිමවලට හානි කළ අය සොයා පොලිස් කණ්ඩායම් අටක් පරීක්ෂණ

  👤  2832 readers have read this article !
By mawbima 2017-01-12

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ස්ථාන හතරක තිබූ බුදු පිළිමවලට හානි කළ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් අටක් යොදවා ඇතැයි පොලිසිය පවසයි.

නැඟෙනහිර දිසාව භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාගේ උපදෙස් මත ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ආර්. ඒ. නිමල් පෙරේරා මහතා යටතේ මෙම පොලිස් කණ්ඩායම් අට මෙහෙයවීම ත්‍රිකුණාමලය කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ජගත් චන්ද්‍රකුමාර මහතාගේ යටතට පවරා තිබේ.

නිල ඇඳුමින් හා සිවිල් ඇඳුමින් සැරසුණු මෙම පොලිස් කණ්ඩායම් සිදුවීම වූ දින අදාළ මාර්ගවල සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා නිරීක්ෂණය කිරීම, එදින රාත්‍රි හා අලුයම් කාලයේ ක්‍රියාත්මක වූ දුරකතනවල දත්ත ලබා ගැනීම, එම කාල සීමාවල එම ප්‍රදේශයේ ගමන් කළ වාහන තොරතුරු ලබා ගැනීම මේ වන විටත් ආරම්භ කර තිබේ.

මේ වනවිටත් වැදගත් තොරතුරු කිහිපයක් අනාවරණය වන බැවින් නුදුරේදීම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි පොලිසිය විශ්වාසය පළ කරයි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි තෝරා ගත් බුදු ප්‍රතිමා පිහිටි ස්ථාන සඳහා ආරක්ෂාව යෙදවීමට පොලිසිය පියවර ගනු ලැබීය.

මේ අනුව ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ආර්. ඒ. නිමල් පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ කන්තලේ හා ත්‍රිකුණාමලය පොලිස් කොට්ඨාස තුළ පිහිටි හානි කර ඇති බුදු පිළිම ඇතුළු තෝරාගත් ස්ථානවල බුදු පිළිම රැසකට මෙසේ පොලිස් ආරක්ෂාව යොදවනු ලැබීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්