කැප්පෙටිපොළ වීරයා විදේශීය ආක්‍රමණවලට අසිපතින් පිළිතුරු දුන්නත් අප පිළිතුරු දෙන්නේ බුද්ධියෙන්

  👤  2849 readers have read this article !
By mawbima 2017-01-12

සපුමල් ජයසේන

කැප්පෙටිපොළ නිලමෙතුමා විදේශීය ආක්‍රමණවලට එදා අසිපතෙන් පිළිතුරු දුන්නත් වෙනස් වූ මුහුණුවරකින් අද පැමිණෙන ආක්‍රමණවලට අප බුද්ධියෙන් පිළිතුරු දිය යුතුව ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා එසේ පැවැසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (11දා) රාත්‍රි පැවැති "උත්තමාභිවන්දනා" උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි. ඉංගී්‍රසි ආණ්ඩුවට එරෙහිව වසර 1818දී සිදු කරන ලද කැරැල්ලට නායකත්වය ලබාදීම හේතුවෙන් කැප්පෙටිපොළ දිසාව ඇතුළු සිංහල නායකයන් දහනව දෙනකුව එදා දේශද්‍රෝහීන් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී එම ප්‍රකාශය නිල වශයෙන් අවංලගු කිරීම සිදු කරන ලදී.

"උත්තමාභිවන්දනා" උළෙල ඇමැතූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

"බලයෙන් විරාජමාන වුවද කිසිදු ජාතියකට අපේ රට යුද්ධයෙන් යටත් කර ගැනීමට නොහැකි වුණා. පෘතුගීසි සහ ලන්දේසි ජාතිකයන් වසර තුන්සීයක් තිස්සේ සටන් කළත් ලංකාව සම්පූර්ණයෙන් යටත් කර ගැනීමට නොහැකි වුණා.

වසර 1815දී සිදු වූයේ සුද්දන්ගේ කපටිකම්වලට හසුවී අප විසින්ම අපේ රටේ පාලනය ගිවිසුමක් මඟින් ඉංග්‍රීසීන්ට පවරා දීමයි.

සුද්දන් ගිිවිසුම කැඩුවා. අපට අපේ රජෙක් නැති වුණා. අපට සිදුවුණා කපටිකමෙන් බලය ඩැහැගත් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කරන්න. වසර 1818දී සිදුවූයේ කැරැල්ලක් නෙවෙයි. අපි ඒක හැඳින්විය යුත්තේ ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව දියත් කළ පළමු නිදහස් අරගලය ලෙසයි.

යම් යම් පාවාදීම් නිසා ඒ අරගලය පරාජයට පත් වුණා. එයට නායකත්වය ලබාදුන් කැප්පෙටිපොළ දිසාව ඇතුළු සිංහල නායකයන් දහනවදෙනකුව දේශද්‍රෝහීන් ලෙස ප්‍රකාශයට පත් කරලා මරණීය දඬුවම ලබා දුන්නා. මරණීය දඬුවම දුන්නට වඩා ඒ විරුවන්ට කළ අවමානය තමයි ඔවුන්ව දේශද්‍රෝහීන් ලෙස නම් කිරීම. එය සිදු කරන ලද්දේ 1818 වසරේ ජනවාරි 10 වෙනිදායි. මවුබිම නිදහස් කර ගැනීමට උරදුන් විරුවන් දේශද්‍රෝහීන් ලෙස නම් කිරීමේ ඉතිහාසගත වරද සිදුවී අදට හරියටම අවුරුදු 199ක් වෙනවා.

අපට නිදහස ලැබිලත් අවුරුදු 70කට ආසන්න වෙනවා. ඒ වරද නිවැරැදි කරන්නට හැමෝටම අමතක වුණා. නමුත් පසුගිය දිනක කෙනකුට ඒක මතක් වුණා. ඒ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ. එතුමාගේ යෝජනාවක් අනුව තමයි අද මම කැප්පෙටිපොළ දිසාව ඇතුළු එදා අරගලයට නායකත්වය ලබාදුන් විරුවන් දහනවදෙනාව දේශද්‍රෝහී ලෙසට සිදු කරන ලද රජයේ ප්‍රකාශනය අවලංගු කරන්නේ.

ලෝක ගෝලයේ අපේ රටේ පිහිටීම ඉතා වැදගත්. ඒ නිසා තමයි එදත් අදත් ලෝක බලවතුන් අපිව නතු කර ගැනීමට නැති නම් ග්‍රහණයට ගැනීමට උත්සාහ කරන්නේ. කැප්පෙටිපොළ විරුවා එදා මේ ආක්‍රමණයට එරෙහිව පිළිතුරු දුන්නේ අසිපතෙන්. මෑත ඉතිහාසයේදී තුවක්කුවෙන්. වර්තමානයේදී අපට පිළිතුරු දිය යුතුව ඇත්තේ බුද්ධියෙන්, ප්‍රඥාවෙන්.

කැප්පෙටිපොළ දිසාව, ගොන්ගාලේගොඩ බණ්ඩා, වීර පුරන්අප්පු, කුඩාපොළ හිමි ආදී ජාතික වීරයන් පිළිබඳව වත්මන් පරපුර දැනුවත් නැහැ. ඒ ගැන දැනුවත් කිරීමට ඇති ආයතන අද නිහඬයි. අද රට පුරා රැව් දෙන්නේ බොල් හඬවල්. දේශපාලන වේදිකාවේත් මාධ්‍යවලත් ප්‍රචාරය වන්නේ හරසුන් දේවල්. ජංගම දුරකතනය, අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙන දේවල් පහත් මට්ටමකයි තිබෙන්නේ. ඉතින් දේශාභිමානයෙන්, දේශවාත්සල්‍යයෙන් යුක්ත පරපුරක් බිහි වෙයිද? මම ආරාධනා කරනවා රටේ පිළිගත් උගතුන්ට, බහුශ්‍රැතියන්ට මේ වරද නිවැරැදි කරන්නට පෙරට එන ලෙසට."

අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, විජයදාස රාජපක්ෂ, අර්ජුන රණතුංග, පාලිත තෙවරප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ, මහාචාර්ය ජේ. බී. දිසානායක සහ කේ. එන්. ඕ. ධර්මදාස, වසර 1818 කැරැල්ලට නායකත්වය ලබාදුන් විරුවන්ගේ ඥාතීන් ඇතුළු ආරාධිතයෝ රැසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්