1 වසරට සිසුන් නොගත් නිසා විදුහල්පතිව කාමරේ හිර කරලා

  👤  2883 readers have read this article !
By mawbima 2017-01-12

අනුරාධපුර _ මහේෂ් විජේසූරිය

මේ වසරේ සිට තඹුත්තේගම එප්පාවල කාගම යාය 09 විද්‍යාලයේ ප්‍රාථමික අංශය නැවැත ස්ථාපිත කර පළමු ශේ‍ර්ණියට සිසු සිසුවියන් බඳවා ගන්නා ලෙස බල කරමින් පළමු වසරට ඇතුළත් වීමට සිටින සිසු සිසුවියන්් සමග, මවුපියන් හා ප්‍රදේශවාසීන් ඊයේ (11දා) විරෝධතා පා ගමනකින් විද්‍යාලයට පැමිණ විදුහල්පතිවරයාගේ කාර්යාලය වටලා විදුහල්පතිවරයා කාර්යාල අඩස්සියේ තබනු ලැබූහ.

මහින්දෝදය විද්‍යාගාරය ස්ථාපිත කර ද්විතීයික පාසලක් ලෙස කාගම විද්‍යාලය නම් කර එහි ප්‍රාථමික අංශයට සිසුන් ඇතුළත් කර ගැනීම නවතන ලෙසට බලධාරීන් නියෝග කිරීම නිසා 2015 _ 2016 යන වර්ෂයන්හිදී කාගම යාය 09 විද්‍යාලයේ පළමු ශේ‍ර්ණියට සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටුවා තිබේ.

ඒ හේතුවෙන් එම ගම්මානයේ සිසු සිසුවියන් අවට පාසල් සඳහා යොමු කිරීමට මවුපියන් කටයුතු කර තිබිණි. එහිදී කටියාව යාය 06 කටියාව යාය 01 වැනි විද්‍යාලයන්ට විශාල දුරක් ගෙවාගෙන පැමිණීමට සිදුවන නිසා ගමේ පාසලක් තිබියදී පාසල පසුකර වෙනත් පාසලකට යෑමට දරුවන්ට අමතර වියදම් දැරීමට හා හිරිහැර විඳීමට සිදුවන බව විරෝධතාකරුවෝ පැවැසූහ.

ප්‍රාථමික අංශය පවත්වාගෙන යෑමට අවශ්‍ය සියලු පහසුකම් තිබියදී මවුපියන් හා සිසු සිසුවියන් අපහසුතාවට පත් කරමින් බලධාරීන් සිදුකළ මෙම අනුවණ ක්‍රියාවට විරෝධය පළකරමින් නැවතත් එම විද්‍යාලයේ ප්‍රාථමික අංශය ආරම්භ කරන ලෙස බල කරමින් මෙවර පළමු ශේ‍ර්ණියට ඇතුළත් කරන සිසු සිසුවියන් විසිපස් දෙනකු සුදු ඇඳුමින් සරසවා, ඔවුන් සමඟින් සටන් පාඨ කියමින් කාගම යාය 09 විද්‍යාලය දක්වා පැමිණියහ.

විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව වසා තිබියදී බලහත්කාරයෙන් එහි ඇතුළු වූ මවුපියන් පළමුවැනි වසරට ඇතුළත් කරන වයසේ පසුවන සිය සිසු සිසුවියන් පාසලට තුළට කැඳවාගෙන ගොස් විද්‍යාලයේ විදුහල්පතිවරයා වන පී.එම්.ටී.ජී. ඒකනායක මහතා හමුවී ඉල්ලා සිටියේ විද්‍යාලයේ ප්‍රාථමික අංශය නැවැත ආරම්භ කර තම දරුවන් පාසලට ඇතුළත් කර ගන්නා ලෙසයි.

විරෝධතාකරුවන් ඇමැතූ විදුහල්පතිවරයා කියා සිටියේ ප්‍රාථමිකය ආරම්භ කිරීමට නම් තමන්ට ඉහළින් නියෝගයක් පැමිණිය යුතු බවයි. කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරිය කඩිනමින් නිලධාරියකු අදාළ ස්ථානයට යොමුකරන බව ඔහු පැවැසුවේය.

පැය කිහිපයක් ගත වුවද නිලධාරියකු විරෝධතාකරුවන් හමුවට නොපැමිණි අතර විරෝධතාකරුවන් විදුහල්පතිවරයා කාර්යාලය තුළ රඳවා එහි ‍ෙදාරගුළු දමා වසා දැමීමට කටයුතු කරනු ලැබීය. තම දරුවන් එම පාසලට ඇතුළත් කර මිස පාසලෙන් පිටතට නොයන බවට විරෝධතාකරුවෝ එහිදී පැවැසූහ. ඒ අතරතුර විරෝධතාකරුවන් පිරිසක් පාසල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ බිම වාඩිවී විරෝධතාවයෙහි නිරත වූහ.

ඊයේ (11දා) පස්වරු 1.30 පමණ වන විටත් විරෝධතාකරුවන් විදුහල්පතිවරයා කාර්යාලය තුළ රඳවාගෙන පාසල ඉදිරිපිටට වී විරෝධතාවයෙහි නිරත වූ අතර කිසිදු බලධාරියෙක් එහි පැමිණියේ නැත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්