ජනපතිට-අගමැතිට සන්දේශයක් දෙන්න පියකු අඹු දරුවන් සමඟ කොළඹට පා ගමනින්...

  👤  3814 readers have read this article !
By mawbima 2017-01-11

අනුරාධපුර -මහේෂ් විජේසූරිය

අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාගේ නියෝගය මත අනුරාධපුර මහ නගර සභාව විසින් තමන් පදිංචිව සිටි නිවෙස කඩා දැමූ බව කියමින් තරුණ පියකු සිය බිරිය ඇතුළු පවුලේ උදවිය සමඟ ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට සන්දේශයක් භාරදීම සඳහා අනුරාධපුරයේ සිට කොළඹ දක්වා දින තුනක පාගමනක් සඳහා පෙරේදා (9දා) සවස අනුරාධපුර නැඟෙනහිර නුවරගම් පළාත් දේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටින් ගමන් ආරම්භ කළහ.

අනුරාධපුර කඩපනහ, මුදිතා මාවතේ පදිංචිව සිටි කේ.ඩී. සමන්ත බණ්ඩාර (46) මහතා බිරිය හා දරු තිදෙනා එක්ව පාගමන ආරම්භ කර තිබිණි. ඔහු හා පවුලේ උදවිය දින තුනක් තිස්සේ අනුරාධපුර ඇල්ල කුරුණෑගල මාර්ගය හරහා කිලෝමීටර් 260 කට වැඩි දුරක් ගෙවා දමමින් කොළඹට යෑමට නියමිතය. ඊයේ (10දා) දහවල් වන විට විරෝධතාකරු කුරුණෑගල නගරයට ආසන්නව සිටි බව වාර්තා විය.

මෙම විරෝධතා පා ගමන සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමන්ත මහතා මෙසේ පැවැසීය.

වසරකට අධික කාලයක් තිස්සේ අප මුදිතා මාවතේ පදිංචිව සිටිනවා. මීට පෙර මා පෞද්ගලික රක්‍ෂණ සමාගමක වැඩ කළත් මේ වන විට රැකියාවක් නැහැ. දරු තිදෙනා බිරිය සමඟ ජීවත් වන්නේ අගහිඟකම් මැද. එසේ තිබියදී පසුගියදා අනුරාධපුර මහ නගර සභාව මා පදිංචිව සිටි එක් කාමරයක් සහිත නිවෙස කඩා දැමුවා.

පදිංචිව සිටි එම ස්ථානයට ඔප්පුවක් සාදා ගැනීම සඳහා අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත් දේශීය ලේකම්වරයාට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයාට, කිහිපවතාවක්ම ලිපි භාර දුන්නා. ලියාපදිංචි තැපෑලෙන් ලිපි යොමු කළා. කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. අනුරාධපුර නැඟෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම්වරයා හා අනුරාධපුර නාගරික කොමසාරිස්වරයා මාගේ නිවෙස සහිත ස්ථානයට ඔප්පුවක් ලබාදීමට මෙතෙක් කටයුතු කර නැහැ. එහෙත් ඔවුන්ගේ හිතවතුන්ගේ ඉඩම්වලට සින්නක්කර ඔප්පු ලබාදී තිබෙනවා. මා නිවෙසේ නොමැති අවස්ථාවක පැමිණ නිවෙසේ ඡායාරූප ලබාගෙන ගොස් නිවෙසේ පදිංචිය නොමැති බව පවසමින් නිවෙස කඩා දැමීම සිදුකර තිබෙනවා. දරුවන්ගේ පොත්පත් රත්තරන් බඩු ඇතුළුව ලක්‍ෂ හයක පමණ බඩු විනාශ කර දමා තිබෙනවා. දරුවන් සමඟ පාරට ඇද දැමූ නිසා ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට සන්දේශයක් භාරදීම සඳහා මා ඇතුළු පවුලේ උදවිය පා ගමන ආරම්භ කළා.

මේ සම්බන්ධයෙන් නැඟෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් රුවන් විජේසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවැසීය.

මෙම ඉඩම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්ද විභාග වනවා. මෙම පුද්ගලයා පදිංචි කොටස මාර්ග සංවර්ධන අධිකාරියට අයිති කොටසක්. අප කළ සොයා බැලීමකදී මෙම පුද්ගලයා බුලංකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව දැන ගැනීමට ලැබුණා. මෙම අනවසර ඉදිකිරීම සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්වරයා දැනුවත් කිරීමෙන් අනතුරුව නගර සභාවේ සැලසුම් කමිටුව ගත් තීරණයකට අනුව තාවකාලික අට්ටාලය නගර සභාව මඟින් කඩා දමනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවැසීය.

මෙම පුද්ගලයා පදිංචි යැයි කියන ස්ථානයේ පිහිටි බිහිරි සොරොව්ව මාර්ගය හරහා අලුතින් පාලමක් ඉදිකරනු ලැබුවා. එම පාලමෙහි වැඩ කටයුතු කරනු ලැබූ කොන්ත්‍රාත්කරුවකු විසින්. මාර්ගය අයිනේ තාවකාලික කුඩා අට්ටාලයක් සාදාගෙන, එම පාලමෙහි වැඩකටයුතු නිමවීමෙන් අනතුරුව පුද්ගලයකු එහි පදිංචිව සිටින බවට තොරතුරු ලැබුණා. මෙම ස්ථානය ඇළ රක්‍ෂිතයක්. අනවසර ඉදිකිරීමක් සිදු කරමින් තිබෙන බවට ලැබුණු පැමිණිලි මත සොයා බලා ඔහු සන්තකයේ ලියකියවිලි කිසිවක් නොතිබූ බැවින් බ්ලොක් ගලින් බැඳ තිබූ කොටස කඩා දමනු ලැබුවා යැයි ඒ මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon