මොරගහකන්ද දියවරෙන් වනසතුන් බේරාගන්න වනජීවී-හමුදා ඒකාබද්ධ මෙහෙයුමක්

  👤  3646 readers have read this article !
By mawbima 2017-01-11

සපුමල් ජයසේන

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද (11දා) ජලය පිරවීම ආරම්භ කෙරෙන මහා පරිමාණ ජල යෝජනා ක්‍රමයක් වූ මොරගහකන්ද ජලාශයට වන සතුන් විශාල සංඛ්‍යාවකගේ ජීවිත බිලි වනු ඇතැයි පරිසරවේදීහු පවසති.

පරාක්‍රම සමුද්‍රය මෙන් තුන් ගුණයකට වඩා විශාලත්වයකින් යුත් මොරගහකන්ද ජලාශයට අලි ඇතුන්, දිවි, වලසුන් වෙසෙන මහ වනයද ඇතුළු වර්ග කිලෝමීටර් තිහක භූමි ප්‍රදේශයක් ජලයෙන් යට වන බව වනජීවී නිලධාරීහු සඳහන් කරති.

මොරගහකන්ද ජල යෝජනා ක්‍රමය නිසා වස්ගමුව ජාතික වනෝද්‍යානයේ අක්කර දසදහසක් සහ ඇළහැර ගිරිතලේ අභය භූමියේ කොටසක්ද වන සතුන්ට අහිමි වෙයි.
මොරගහකන්ද ජලාශයට ජලය ලබා ගැනීම සිදු කරන්නේ අඹන්ගඟ සහ මහවැලි ගඟේ අතු ගඟක් වූ කළුගඟ හරස් කිරීමෙනි. ඒ සඳහා වේලි තුනක් ඉදි කර තිබේ.

ජලාශයෙහි වතුර පිරී යෑමෙන් අනතුරුව එහි දූපත් පහළොවක් පමණ නිර්මාණය වනු ඇතැයි ඒ පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයකදී හෙළි වී තිබේ.

ප්‍රදේශය ජලයෙන් යටවීමේදී වන සතුන් ඒ මැද නිර්මාණය වන දූපත්වලට පිහිනා යනු ඇති බවත් වන සතුන් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සරත් පතිරත්න මහතා අප කළ විමසීමකට පිළිතුරු දෙමින් කීවේය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකු වූ ජේ‍යෂ්ඨ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතාගේ මූලිකත්වයෙන් සිදුකිරීමට නියමිතව ඇති සතුන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා වනජීවී නිලධාරීන්ගේ සහායට ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ යුද හමුදාව සහායා ලබාදීමට ඉදිරිපත් වී සිටී. මෙහෙයුම් සඳහා යාන්ත්‍රික බෝට්ටු හයක්ද සූදානම් කර තබා ඇත.

වන සතුන්ගේ ජීවිත බේරා ගැනීම පිණිස සිදු කිරීමට නියමිත මේ මෙහෙයුම් සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මොරගහකන්ද ජල යෝජනා ක්‍රමයෙන් ලබා දෙන බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon