2020ත් ශ්‍රී ලනිප ජනපති අපේක්ෂකයා මෛත්‍රිමයි

  👤  3659 readers have read this article !
By mawbima 2017-01-11

පණ්ඩුක සමරසේකර

මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාම බව ශ්‍රී ල.නි.ප. භාණ්ඩාගාරික සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ (10දා) පැවැසීය.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් ඒකමතික තීන්දුවකට අනුව මේ තීරණයට එළැඹි බව දිසානායක මහතා සඳහන් කෙළේය.

මෙරට සුළු ජාතික ඡන්ද ප්‍රතිශතය වන 27%ක ප්‍රමාණයක් ලබා ගත හැකි එකම අපේක්ෂකයා වන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා. ද්‍රවිඩ, මුස්ලිම් ඡන්ද නැතිව මේ රටේ ඡන්දයක් දිනන්න කාටවත් බැහැ. මෙරට සුළු ජාතීන් අතර සිටින කීර්තිමත්ම ජන නායකයා වන්නේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා. එතුමා සුළු ජාතීන්ගේත් ප්‍රබල නියෝජනයක්. ඒ නිසා ඉදිරි මැතිවරණයේදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා. එය ස්ථිර වශයෙන්ම පක්ෂය සනාථ කළා. ඒ වගේම අපට ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගෙන විශාල විදේශ විනිමයක් අත්කර ගැනීමට මඟ පෑදුණේ ජනාධිපතිතුමාගේ ඇති දූරදර්ශී විදේශ පිළිවෙත හින්දා. ඇමෙරිකාව ප්‍රමුඛව යුරෝපා සංගමය දිගින් දිගටම ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා ආධාර, උපකාර කිරීම තුළින් අපේ රට ඉදිරියට ගෙන යෑමේ යෝධ පියවරක් ජනාධිපති විසින් මේ වසර දෙකේදී අත්කර ගත්තා. එහි ප්‍රධාන වාසිය ලැබෙන්නෙ රටට. ඒ වාසිය දිගින් දිගටම පවත්වාගෙන යෑමට නම් රටට එතුමාගේ නායකත්වය අත්‍යවශ්‍ය වෙනවා. මේ කරුණු කෙරෙහි දැඩිව අවධානය යොමු කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා අප ඉදිරිපත් කරනවා.

ජනපතිවරණයට තවත් වසර 4ක් තිබියදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට මෙතරම් ඉක්මන් වූයේ මන්දැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න හමුවේ අමාත්‍යවරයා මෙසේ සඳහන් කෙළේය.

සෑම කෙනකුගේම ප්‍රශ්නයක් තිබෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළඟ අපේක්ෂකයා කවුද කියලා. ජනාධිපතිතුමා ගියවර ඉදිරිපත් වුණේ රටේ පොදු අපේක්ෂකයා විදියට. එහිදී එක්සත් ජාතික පක්ෂයයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි, බහුජන සංවිධානයි එකට එකතුවෙලයි මෛත්‍රිපාල ජනාධිපතිතුමා දිනෙව්වෙ. කාහටත් අයිති අපේක්ෂකයා වුණේ එතුමා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට කුතුහලයක් තියෙනවා කවුද මීළඟ ජනාධිපති අපේක්ෂකයා කියලා. අනික පක්ෂය ශක්තිමත් කිරීමේ කාර්යයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ විවිධ කණ්ඩායම්වලට නිශ්චිත ඉලක්කයක් දෙන්න වෙනවා අපේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කියල. ඒ නිසා අපි වසර 4ක් තිබියදී ප්‍රකාශයට පත් කළා.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ස්ථාවරය කුමක් දැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න හමුවේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 'එතුමාගේ ස්ථාවරය ගැන මොනවත්ම ජනාධිපතිතුමා කීවේ නැහැ. රටට වගේම පක්ෂයට අවශ්‍යම මොහොතක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ තීන්දුව ගත්තෙ. ඉතින් ජනාධිපතිතුමාට මේ තීරණයෙන් මඟහරින්න බැහැ. ඒක පක්ෂයේ තීරණය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon