වෙසක් පෝය දෙකක් ගතවනතුරු නොසිට ආණ්ඩුව ගෙදර යැවිය යුතුයි

  👤  1365 readers have read this article !
By mawbima 2017-04-13

අවුරුදු 30ක යුද සමයේදීවත් නොපැවති දුෂ්කර තත්ත්වයකට රට ඇද දමා ජනතාවගේ අවුරුදු සතුටත් අහිමි කළ මේ ආණ්ඩුව දෙපෝයකින් නොව එක පෝයකින්ම ගෙදර යැවීමට ජනතාව පෙළගැසිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
පෙරේදා (11දා) ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් සහ රාමඤ්ඤ නිකායේ මහ නාහිමි සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි බැහැ¼දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවැසීය.

''මාස තුනකට ආසන්න කාලයක් සිරගතව සිටියදී මා දේශපාලන දඩයමට එරෙහිව ආහාර වර්ජනය කරමින් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළා. එම උපවාසයට දින 08ක් සම්පූර්ණ වූ පසු රාමඤ්ඤ නිකායේ මහා සංඝ නායක නාපානේ පේමසිරි මහ නාහිමි සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි ලිඛිතවත් සියම් මහ නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පල්ලත්තර සුමනජෝති නාහිමි ඇතුළු මහා සංඝරත්නය ජාතික රෝහලට වැඩම කර වාචිකවත් උපවාසය නතර කරන ලෙස මාගෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම් අනුව මා උපවාසය නතර කරනු ලැබුවා. උන්වහන්සේලාගේ ඉල්ලීම් අනුව මා උපවාසය නතර කිරීමට අදාළ වූ කරුණු දන්වා සිටින්නයි අද මහනුවරට පැමිණියේ.

අපිව සිරගෙවල්වල දාන්නේ රටට යහපතක් කරන්න නොවෙයි. අපිව සිරිගෙවල්වල දැම්මාම මේ රටේ මිනිසුන්ගේ අතමිට සරු වෙනවා නම් අපි හැමදාම සිරගෙවල්වල ඉන්න සූදානම්. එට්කා ගිවිසුම අත්සන් නොකරනවා නම්, නව ව්‍යවස්ථාවක් ගෙනැල්ලා මේ රට දෙපළු නොකරනවා නම්, අපි සිරගෙවල්වල ඉන්න සූදානම්. හැබැයි අද සිදුකරන්නේ රටට ආදරය කරන දේශපාලන නායකයන්, පැවිදි නායකයන්, රණවිරුවන්ගෙන් සිරගෙවල් පුරවන එක. අද රට ඇදගෙන යන්නේ දිනාගත් ජයග්‍රහණ අහිමි කරවන දිසාවටයි.
එට්කා ගිවිසුම අස්සන් කරලා ඉන්දියාවේ මන‍ෙදාල සපුරන්න ව්‍යවස්ථාවක් ගෙනල්ලා. ජාතිවාදී, බෙදුම්වාදී සියලු බලවේගවල මන‍ෙදාල සපුරන්න, ඉන්දියාව, ඇමෙරිකාව ඇතුළු බටහිර බලවතුන්ට මේ රටට විකුණන්න තමයි මේ ආණ්ඩුව හදන්නේ. ඒ ප්‍රතිපත්තියට එරෙහිව අපි ජනතාව සමඟ සටන් වදින නිසයි මේ විදියට සිර ගෙවල්වල දාන්නේ. සිරගෙවල්වල සිටියත් එළියේ සිටියත් අපි මේ ආණ්ඩු විරෝධී සටන ජනතාව වෙනුවෙන් ඉදිරියට ගෙන යනවා.

මා සිරගතව සිටි මාස තුනකට ආසන්න කාලයේ ජනතාව සාමුහිකවත් තනි තනිවත් මා වෙනුවෙන් බාරහාර වුණා. විරෝධතා පැවැත්වූවා, විවිධ ක්‍රියාමාර්ගවල නිරත වුණා. අපට සිරගත ජීවිතය අර්ථවත් ලෙස ගෙවන්න එම ක්‍රියාමාර්ග පිටිවහලක් වුණා. ඔවුන්ට අපගේ කෘතවේදීත්වය දැක්වීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.
අපි කළ නිරීක්ෂණ අනුව ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් මේ අවුරුදු සමයේ ඇතිව තිබෙන්නේ. අවුරුදු 30ක යුදමය තත්ත්වයකදී වුවත් මේ රටේ ජනතාව මීට වඩා හොඳින් අවුරුදු සැමරුවා. ජනතාවගේ ආදායම පහළ යෑමත් ව්‍යාපාරිකයන්ට ආදයම් නොලැබී යෑමත් හේතුවෙන් මේ අවුරුදු සමයේ ඉහළම සතුට භුක්ති විඳීමේ අවස්ථාව අහිමි වෙලා තිබෙනවා. මේ සියලු තත්ත්වයන් අනුව මේ ආණ්ඩුව පෝය දෙකකින් නොවෙයි එක පෝයකින්ම ගෙදර යැවිය යුතුව තිබෙනවා.''

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon