අලුත් අවුරුදු සුබ පැතුම්

  👤  1995 readers have read this article !
By mawbima 2017-04-13

දිනාගත් ජයග්‍රහණ
වඩාත් හරවත් කිරීමට
අධිෂ්ඨාන කරගනිමු

දිනාගත් ජයග්‍රහණ වඩාත් හරවත් කරමින් සංහිඳියාවෙන්, සහජීවනයෙන් වඩාත් ශක්තිමත්ව නැඟී සිටින රටක් ලෙස එළැඹෙන අලුත් අවුරුද්දේදී පෙළ ගැසෙමු යන්න අලුත් අවුරුද්දේ අධිෂ්ඨාන කර ගත යුතු බව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
එම පණිවුඩයේ තවදුරටත් මෙසේද සඳහන් වේ.

සූර්ය සංක්‍රාන්තිය මත පදනම් වන අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඔස්සේ සමාජගත වූ ප්‍රමුඛ කියැවීම වන්නේ මිහිතලය මත ජීවයේ සම්භවය සිදු වූ අතීතයේ අෑත යුගයන් දක්වා දිවයන මිනිසාත් සොබාදහමත් අතර පවතින්නා වූ භෞතික සහ ආධ්‍යාත්මික ගනුදෙනුවක අපූර්ව සබැඳියාවය.
එදා මෙදාතුර මිනිසාගේ කෘතවේදී ගුණය පිළිබ¼දව සජීවී නිදර්ශකයක් බවට පත්වන අවුරුදු චාරිත්‍ර පෙර පැවැති මහා කෘෂි ජීවන සම්ප්‍රදාය නවීකරණය වෙමින් පවතින අද දවසේ වුවද සක්‍රියව ජන විඥානය තුළ ස්පන්දනය වනුයේ අප තුළ ජීවත් වන සංස්කෘතික ආධ්‍යාත්මයේ ප්‍රබලත්වය විදහා දක්වමිනි.

සමස්ත අවුරුදු චාරිත්‍ර පද්ධතියේ සමුදයාර්ථය වනුයේ, තම පැවැත්ම සවිබල ගැන්වූ පරිසරයට මිනිසා විසින් පෙරළා දක්වන කෘතවේදීත්වය සේම ඔහුත් අවශේෂ සමාජයත් අතර පවත්නා සමීප සබැඳියාව යාවත්කාලීන කිරීමය. අවුරුදු ලිත ඒ සඳහා ඔහුට යම් කාල සටහනක් ලබාදීම තුළින් මිනිසාගේ කාල කළමනාකරණයටද අවුරුදු නැකැත්කරු ප්‍රමුඛත්වය ලබාදී තිබේ. එසේම නැකැතට කෙරෙන ගනුදෙනු සමඟ ප්‍රතිපත්තිගරුක වීමේ අගය අවුරුදු සිරිතේ නින්නාද දෙන ගැඹුරු හර පද්ධතිය බවට පත්වන්නේ යමක් ලබා ගන්නා සේම පෙරළා පිරිනැමීම ද අප සංස්කෘතියේ උදාර ගති ලක්‍ෂණයක් බවට අවධාරණය කරමිනි.
සූර්ය සංක්‍රාන්තියට අනුගාමීව සිදු කෙරෙන සියලු චාරිත්‍ර වාරිත්‍රයන්හි පොදු අපේක්ෂාව තුළ කැටපත් වන්නේ, පසුගාමී චින්තනයෙන් සහ අවර ගණයේ ආකල්පයන්ගෙන් තොර අලුත් මිනිසකු නිර්මාණය කිරීමය.

අලුත් අවුරුද්ද සැබැවින්ම අපේ ජීවිතවලට නව සමාරම්භයක් වන්නේ අප එලෙස අලුත්වීම තුළය.
එතෙර මෙතෙර වෙසෙන සමස්ත ශ්‍රී ලාංකිකයනට සෞභාග්‍යවත්, සාමය සතුට පිරිවැරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා!

උත්සවශ්‍රීයෙන් සමරන
මහා සංස්කෘතික මංගල්‍යයක්

සිංහල, දමිළ සැම එක්ව වාර්ගික, ආගමික පක්ෂ පාට භේද පසෙකලා එක්සත්ව මහත් ප්‍රීතිමත් සිතින් සමරනු ලබන මෙවන් ජාතික උත්සව අවස්ථාවක් තවත් නොමැති බව සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
එම සුබාශිංසන පණිවුඩයේ මෙසේද සඳහන් වෙයි.

කෘෂි ජීවන රටාවක් සහිත වූ සෑම සංස්කෘතියකටම පොදු වන අස්වනු මංගල්‍යය, එසේත් නැතිනම්, විශ්වයේ පැවැත්මට ප්‍රබල සාධකයක් වන හිරුට කෘතවේදීත්වය පුද කරමින් පවත්වන සූර්ය මංගල්‍යය ශ්‍රී ලාංකික අප ද බක් මාසයේ මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබන මහා සංස්කෘතික මංගල්‍යයකි.
සතුට, සාමය, සංහිඳියාව, එකමුතු බව සැමවිටම අප සිත්සතන් තුළ පවත්වා ගැනීමෙන් සමස්ත සමාජය සාමකාමී යහපත් සමාජයක් බවට පරිවර්තනය වනු ඇත.
සිංහල, දමිළ නව අවුරුදු උළෙල සමඟ බැඳී ඇති සාම්ප්‍රදායික සිරිත් විරිත් නූතන ලොව හමුවේ වුවද ප්‍රතික්ෂේප කළ නොහැකි තරම් පරිසර හිතවාදී බවින්, මානව හිතවාදී බවින් පිරිපුන්ය. එබැවින්ම මෙම සාම්ප්‍රදායික සංස්කෘතික උරුමය අප දූ දරුවන් වෙත හඳුන්වා දෙමින්, අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කර ගැනීමද අප සතු වගකීමකි.
සියලු භේද දුරලා යහපත් සමාජයක්, සංවර්ධිත දේශයක් ගොඩනැංවීම වෙනුවෙන් නව අධිෂ්ඨානයන් සමඟ කැපවන සාමකාමී, සමෘද්ධිමත් සුබ නව වසරක් වේවා!

පොදු අරමුණක් වෙනුවෙන්
සමස්ත ප්‍රජාව ඒකරාශි කරමු

නව ඇරැඹුමකට පසුබිම සකසා ගැනීම නව වසරේ අරමුණ කරගත යුතුව ඇතැයි අලුත් අවුරුද්දට සුබ පැතුම් පණිවුඩයක් එක්කරමින් කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා කියා සිටියි.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
වසර දහස් ගණනක් පුරා ලොව සෑම ශිෂ්ටාචාරයකම සූර්ය වන්දනාව විවිධ මුහුණුවරින් සිදුවීම පෘථිවි තලයේ සකලවිධ ජීවීන්ගේ පැවැත්ම සූර්ය ශක්තිය මත පදනම් වන්නේය යන යථාර්ථය අපේ මුතුන් මිත්තන් දැන සිටි බවට කදිම සාක්ෂියකි.
කෘෂිකර්මය සහ ආගම එකට බැඳුණු ශිෂ්ටාචාරයක මිනිසුන් සෑම විටම සොබාදහම සමඟ ගෞරවනීය සාධාරණ ගනුදෙනුවක යෙදුණු බවට ශ්‍රී ලාංකේය සංස්කෘතිය පැහැදිලි උදාහරණ සපයයි.

ගහකොළ මලින් බරවන භාග්‍යවන්ත බක්මහේ අස්වනු නෙළා අටුකොටු පුරවා ගත් ශ්‍රී ලාංකිකයෝ ගතින් සිතින් පේවී සූර්ය වන්දනාවත් සමඟ නව අවුරුදු වසන්තය පිළිගැනීමට සූදානම් වූහ. එය ජීවන වෘත්තිය, ආගම, පරිසරය හා බැඳුණු මහ සැණකෙළියක සිරි ගත්තේය. පොදු අරමුණක් වෙනුවෙන් සමස්ත ප්‍රජාව ඒකරාශි වෙමින් සියලු දෙනාට සැපත, සෞභාග්‍යය ප්‍රාර්ථනා කිරීම ශ්‍රී ලාංකික අලුත් අවුරුදු උත්සවය තුළ දක්නට ඇති උතුම් ලක්ෂණයකි.
විශේෂයෙන්ම අප සංස්කෘතියට ආවේණික වැඩිහිටියන් නැමදීම, ඥාති හිත මිත්‍රාදීන් බැහැදකින්නට යෑම ආදිය සමාජයේ ධුරාවලිය නැවත සිහිපත් කරදෙන සංහිඳියාව ජනිත කරන වැදගත් අවස්ථාවන්ය.

ගේ ‍ෙදාර පරිසරය පිරිසුදු කර නැවුම් වටපිටාවක් සකසා ගැනීම පමණක් නොව පැරැණි සිත් බිඳීම් අමතක කර පිරිසුදු සිතිවිලි ඇති කර ගනිමින් අලුත් ආරම්භයකට පසුබිම සකසා ගැනීමට නව වසරේ අරමුණු කරගත යුතුය.
අප සියල්ලෝම සූර්ය දරුවන් ලෙස එකම මූලයකින් පැවැත එන්නන් බව පසක් කර දෙමින් අන් සංස්කෘතීන්ට ගරු කරමින් ජීවත්වීම සිංහල, හින්දු අලුත් අවුරුද්දේ ශ්‍රී ලාංකිකයන් ප්‍රකට කළ ආදර්ශයයි.

යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් සමඟින් සිදු වූ වැරැදි නිවැරැදි කර ගනිමින්, අප සිරිත් විරිත් හර පද්ධතීන්ට ජීවය දෙමින් අන් සිරිතට විරිතට ගරු කරන සෞභාග්‍යවත් නව අවුරුද්දක් සමරන්නට හැකි වේවායි සකල ශ්‍රී ලංකා වාසීන්ට සුබාශිංසනය කරමි.

නැවුම් අපේක්ෂා
පොදුජන හදවත්වල
ජනිත කරන උත්සවයක්

හිරු සඳු මුල්කරගෙන සිංහල, හින්දු අලුත් අවුරුද්ද පොදු ජනතාව ප්‍රීති ප්‍රමෝදයට පත් කරන ජාතික මංගල්‍යය වශයෙන් හැඳින්විය හැකි බවත්, ඉඩම, කඩම, හේන, කුඹුර සරු පලදාවෙන් පිරී යන බක්මහේ භාග්‍යවන්ත වසන්ත උදානය ජාතික සමඟිය තහවුරු කරන බවත් සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා සඳහන් කරයි.

එම පණිවුඩයේ මෙසේද සඳහන් වෙයි,
සිංහල සිරිතට විරිතට මුල් තැන දෙමින් ජේ‍යාතිෂ නියමය අනුව නැකැත් අනුගමනය කරමින් ආරම්භ කරන අලුත් අවුරුද්ද නැවුම් අපේක්ෂා පොදු ජනතා හදවත්වල ජනිත කරයි. ප්‍රගතිශීලී අධිෂ්ඨාන පූර්වක සිතිවිලිවලින් යුතුව නිවහනේ කිරි උතුරවා, ගෘහස්ථ පවුල් ඒකකය ජයග්‍රාහී ඉදිරි පියවර තබන්නේ අලුත් අවුරුදු උදාවත් සමඟය. ගෙවත්තේ කිරි ගසකට කෙටීමෙන් අලුත් අවුරුද්දේ වැඩ අල්ලන අපේ ගැමියෝ ඉඩම් වපසරියෙන්ම අලුත් අවුරුද්ද සරුකර ගනිති. ඒ සඳහාම සරු සාර පොළවකට උරුමකම් කියන අපි උපතින්ම වාසනාවන්තයෝ වෙමු.

ස්ථිර සාමයක්
සංහිඳියාවක් රටට උදාකර ගැනීමට
කැපවෙමු

ස්ථීර සාමයක්, සංහිඳියාවක් සහිත ශ්‍රී ලංකාවක් බිහිවේවායි ප්‍රාර්ථනා කරන බව සිය අලුත් අවුරුදු පණිවුඩය නිකුත් කරමින් සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.
එම පණිවුඩයේ තවදුරටත් මෙසේ ද සඳහන් වේ.
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන සෑම කාලවකවානුවකම මෙරට සියලු ජාතීන් අතර සාමය, සතුට හා සංහිඳියාව ගොඩනැඟෙන බව අපි දනිමු. එසේ අවුරුදු සමයේ ගොඩනැඟෙන සාමය සතුට සංහිඳියාව, ස්ථීර සාමයත්, ස්ථීර සංහිඳියාවත් සහිත ශ්‍රී ලංකාවක් බිහිකර ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගේ දර්ශනය අනුව කැපවිය යුතු බව මගේ හැඟීමයි.

එබැවින් මෙවර ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මෙරට සුළු ජාතීන්ද හා එක්ව ස්ථීර සාමයක්, ස්ථීර සංහිඳියාවක් සහිත රටක් බිහිකර ගැනීම සඳහා කැප කරමු යැයි මා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමි.
ඔබ සැමට ජයෙන් හා සතුටෙන් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

සමස්ත ජනතාව
සමඟියෙන් බැඳ තබන
ජාතික උත්සවයක්

ඉහළම සතුටක් භුක්ති විඳිය හැකි සමාජයක් නිර්මාණය කරගැනීම සඳහා වූ අධිෂ්ඨානය කුළුගන්වන සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ සිය අවුරුදු දින පණිවුඩය නිකුත් කරමින් පවසයි.
එම පණිවුඩයේ මෙසේද සඳහන් වේ.
'ජාතික සමඟිය වඩවාලීමට අදිටන් කර ගනිමු!' සිංහල බෞද්ධයන් සහ දෙමළ හින්දූන් පමණක් නොව ශ්‍රී ලංකාවාසී සියලු ජනතාව ජාතික සමඟියෙන් බැඳ තබන තවත් ජාතික අලුත් අවුරුද්දක් හෙටට (14දා) යෙදී තිබේ.

අප මෙම ජාතික අලුත් අවුරුද්ද සමරනු ලබන්නේ ඉපැරැණි සංස්කෘතිකාංග රැසක්ද සමඟිනි. ඒ අතර වන කැවිලි පෙවිලි හුවමාරුව තුළින් අසල්වාසීන් සමඟ අනේ‍යාන්‍ය සුහදතාව වර්ධනය කර ගැනීම සහ අවුරුදු ක්‍රීඩා හා බැඳුණු උත්සව තුළින් ගම්වාසීන් අතර සුහදතාව, එකමුතුකම වැඩිදියුණු කිරීම ආදී යහපත් ගුණාංග රැසක් අප ජීවිතවලට එක් කරනු ලබයි. අවසන ඉන් ශක්තිමත් වන්නේද ජාතික සමඟියයි.

එසේ යහපත් ගුණාංග රැසක් අප ජාතියක් ලෙස ජීවිතවලට එක්කර ගන්නා මේ අවුරුදු සමයේ බෙහෝ දෙනකුට එහි ඉහළම සතුට හිමිකර ගත නොහැකි වී ඇත්තේ මන්ද? ඒ ඔවුන් මුහුණ දෙන සමාජ _ ආර්ථික දුෂ්කරතා හේතුවෙනි. එහෙයින් ඉදිරියේදී මුළුමහත් ජාතියටම මේ ජාතික අවුරුදු උත්සවයේ ඉහළම සතුට භූක්ති විඳිය හැකි සමාජයක් අප නිර්මාණය කරගත යුතුව තිබේ. ඒ සඳහා වන අධිෂ්ඨානය කුළුගන්වන සුබ ජාතික අලුත් අවුරුද්දක් පතන්නෙමු!

ජාතීන් අතර
එකමුතුභාවය විදහාපාන
එකම උළෙල

පාරම්පරික සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් එකම සිතුම් පැතුම් ඇති එකම ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස සමරන්නාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමට සාමයෙන් සහ සෞභාග්‍යයෙන් පිරි වාසනාවන්ත පී්‍රතිමත් අලුත් අවුරුද්දක් වේවායි මම ඉත සිතින් ප්‍රාර්ථනා කරන බව සිය අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ පවසයි.
එම පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.

අතීතයේ පටන් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප රටේ සියලු ජාතීන් විසින් සහෝදරත්වයෙන් සමරන ලද්දකි. මෙම උත්සවය ඉතාමත් වැදගත් වන්නේ ජාතීන් අතර විවිධත්වයෙහි එකමුතුභාවය විදහාපාන එකම උත්සවය බැවිනි. සාමය සමඟිය සහ එකමුතුභාවය මූලික කොටගත් අලුත් අවුරුද්දේදී ජනතාව තම වාදභේද පසෙකලා අනාගතය සඳහා නැවුම් බලාපොරොත්තු ඇති කර ගනිති.

මෙම කාලවකවානුව අපගේ මුතුන් මිත්තන් අපට උරුම කර දුන් අපගේ සංස්කෘතික උරුමයන්හි වටිනාකම අපට මතක් කර දෙයි. මෙවැනි උතුම් උත්සවයක ඇති වටිනාකම අපගේ දරුවන් හටද කියා දීමට මෙය අවස්ථාවක් කර ගනිමු. සුබ අලුත් අවුරුද්දක් වේවා!

නව දේශපාලන ගමනකට
පෙළගැසීමට නව ජවයකින් එක්වෙමු

පැරණි දෑ ඉවත් කර ජීවිතය නැවුම් බවකින් පුරවාලන ජීවිතයේ මෙතෙක් ආ ගමන දෙස අලුතින් සිතා බැලීමට ඉඩ කඩ සලසන මේ අලුත් අවුරුද්ද නව දේශපාලන ගමනකට පෙළ ගැසීමට නව ජවයක් එක් කරගනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ සිය අලුත් අවුරුදු පණිවුඩය නිකුත් කරමින් පවසයි.
එම පණිවුඩයේ තවදුරටත් මෙසේ ද සඳහන් වේ.
සාම්ප්‍රදායික ජේ‍යාතිෂ විශ්වාසය අනුව අලුත් අවුරුද්ද යනු සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට මාරු වෙමින් චක්‍රයක් සම්පූර්ණ කිරීම ලෙස සැලකෙයි. නව අවුරුද්ද සෑම අතකින්ම අලුත් බව හා බැඳේ. මෙම විශ්වාසය සමඟ බැඳුණු සංස්කෘතික උත්සවය මෙරට ජනතාව කෙරෙහි සාධනීය ලෙස බලපාන සමාජ සංසිද්ධියක් නිර්මාණය කරයි.
සහන කපනු ලැබීමේත් බදු බර ඉසිලීමේත් ඉරණමට මුහුණ පා ඇති පොදු ජනතාව අලුත් අවුරුද්දේ කොතරම් එකිනෙකට සුබ පතා ගත්තද අලුත් අවුරුද්ද සුබවීමේ ඉඩක් ඇත්දැයි සැක සහිතය. පසුගිය කාලය පුරාවටම අලුත් අවුරුදු සමය තුළ කරගන්නා ලද ප්‍රාර්ථනා එලෙසින්ම ඉටු නොවීමේ හේතු ජනතාව විසින් ගැඹුරින් සොයා බැලිය යුතුව තිබේ.

මෙහි පළමු පියවර පැරණි දේශපාලන තීරණ වෙනස් කර නව දේශපාලන තීරණ ගැනීමට වන පෙලඹවීම යැයි අපි විශ්වාස කරමු. එසේම රටත් ජනතාවත් සැබෑ ජයග්‍රහණ කරා රැගෙන යන සහ නව සමාජයක් ගොඩනඟන නව දේශපාලන ගමනකට පෙළගැසීමට ජනතාව විසින් අලුත් අවුරුද්ද නව ජවයක් කර ගනු ඇතැයි ද අපි බලාපොරොත්තු වෙමු.

උදා වූ සිංහල - දෙමළ අලුත් අවුරුද්දේ පුළුල් සමාජ වෙනසක් වෙනුවෙන් දැවැන්ත ජනතා බලයක් ගොඩනැඟීමට අදිටන් කරගන්නා මෙන් ද ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය ධෛර්ය කුළුගන්වාලන අවස්ථාවක් බවට පත් කර ගන්නා මෙන්ද එකම ලාංකේය ජාතියක් බවට ගොඩනැඟෙන ජාතික සමඟියේ නිමිත්තක් බවට එය පත්කරගන්නා මෙන්ද අපි දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon