වරදක් වුණා දැයි අපගෙන් සැක සිතුණා අම්මා නැති ළිඳේ ලොකු තනියක් දැනුණා

  👤  1817 readers have read this article !
By mawbima 2017-04-16

දස මසක් කුසේ තබාගෙන නෙක දුක්විඳ මෙලොවට බිහිකළ දරුවන් තුරුලුකර ගනිමින් දුම්රියට පැන දිවිතොර කරගත් සිදුවීම් පිළිබඳව අපි කොතෙකුත් අසා ඇත්තෙමු. නිවෙසේ අග හිඟකම් නිසා දරුවන්ගේ කුසගිනි නිවීමට නොහැකිවූ මවුවරුන්, සැමියා සමඟ ඇතිවූ ආරවුල් හේතුවෙන් ජීවිතය කලකිරී දරුවන්ද තුරුලු කරගනිමින් දිවිනසාගත් සිදුවීම් පිළිබඳව අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත් පසුගියදා ආදරණීය සැමියාට පිටුපා, අනියම් පෙම්සුව විඳීමට ගිය තරුණ මවක සිය ජීවිතය තොරකර ගත්තේ මේ කිසිවක් නොදත් පුංචි මල් කැකුළු දෙකක්ද මිලින කරමින්ය.

රටක් කැලඹූ මේ අවාසනාවන්ත සිදුවීම වූයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින පෙනෙන නොපෙනෙන මානයේ පිහිටි විහාරකල්ලංචිය "නිවාස පනහ" ප්‍රදේශයෙනි. මවගේ අනියම් ඇසුරක් හේතුවෙන් ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූයේ හය හතර නොතේරෙන වයස අවුරුදු හතරක් වූ බුවනී නුවාංජලී වීරවිජේ හා වයස අවුරුදු එකහමාරක් වූ බිගුන්‍ය හේෂාණී වීරවිජේ යන අහිංසක දියණියන් දෙදෙනාටය. දරු දෙදෙනා ළිඳට වීසිකර මරණයට පත්වීමට ඉඩ ඇරීමෙන් අනතුරුව නොනැවතුණු ඇය නිවෙසේ මුළුතැන්ගෙයි බාල්කයක එල්ලී සිය හුස්ම පොදද වාතලයට මුසු කළාය.

තිදරු මවක් වූ නදීකා මදුරන්ති ගුණසේකර (30) නාවික හමුදා සෙබළකුගේ තරුණ බිරියය. ඔවුන් දෙදෙනා මීට වසර අටකට පමණ ඉහතදී විවාහ වූයේ පැවැති නෑනා මස්සිනා සබඳතාව, පෙම් සබඳතාවකට හරවා ගනිමිනි. අවාසනාවන්ත ඛේදවාචකයකට මූලික සිද්ධාන්තය වී තිබුණේ අනියම් සැමියන් දෙදෙනෙකි.
මීට වසර තුන හතරකට උඩදී නදීකා හා තවත් තරුණයකු අතර ඇති වූ අනියම් ඇසුර පිළිබඳව 'සුනිල්' ට (මන--කල්පිත නමකි) ටික කලක් ගතවෙද්දී දැනගන්නට ලැබිණ. ඇහැට කනට පෙනෙනා 'නදීකා' එම තරුණයා සමඟ ඇති කරගෙන තිබෙන අනියම් සබඳතාව අතට අල්ලා ගැනීමට සුනිල් මාස ගණනාවක් තිස්සේ මාන බලමින් සිටියදී දිනක ඔහුගේ වෑයම සාර්ථක වී තිබේ. නදීකාගේ හා අනියම් පුරුෂයාගේ ඡායාරූප සිය ජංගම දුරකතනයට හසුකරගත් සුනිල් සිය දඩයම ආරම්භ කළේය.

" ආ... නංගී ඔයාගේ ෆොටෝ වගයක් මගේ ළඟ තියෙනවා. මහත්තයට පෙන්නන්නද?" සුනිල් නදීකාගෙන් ඇසුවේය. කුමක් හෝ වරදක් සිදුවී ඇති බව දැනගත් නදීකා සුනිල් ළඟ හඬා වැටෙමින් පවසා ඇත්තේ "අනේ අයියේ මම කකුල් දෙක අල්ලලා වඳින්නම්, ඔයාට ඕන දෙයක් දෙන්නම් හැබැයි මේක මහත්තයටවත් ගමේ අයටවත් දැනගන්න තියන්න එපා" කියලාය. සිය ඉලක්කය සාර්ථක වූ බව දැනගත් සුනිල් එතැන් සිට නදීකාගෙන් ඔහුගේ ඕනෑ එපාකම් ඉටුකර ගනිමින් කාලය ගතකර තිබේ. නදීකා සමඟ පළමුව අනියම් සබඳතාව පැවැත්වූ තරුණයා මෙම සිදුවීමත් සමඟම ඇයගෙන් අෑත්වී ඇති අතර ඔහු රැකියාවක් සඳහා විදේශ ගතවීමටත් මෙම හේතුව පාදක වී තිබිණි.
නාවික හමුදා සෙබළකු වන නදීකාගේ සැමියා නිවෙසට එන්නේ මසකට දින කිහිපයකට පමණි. එය සුනිල්ට හොඳ පල්ලමක් වී තිබුණු අතර ඇයත් සමඟ පවත්වන අනියම් සබඳතාව පිළිබඳ තොරතුරු විටින් විට මිතුරන්ටත් පවසමින් ජංගම දුරකතනයේ තිබූ ඡායාරූප මිතුරන්ටද පෙන්වීම තුළින් නදීකාගේ අනියම් සබඳතාවන් පිළිබඳව ආරංචි ගම පුරාම පැතිර ගොස් තිබිණි. එපමණක් නොව දෙවැනි හා තෙවැනි දරුවන් පිළිබඳවද ගම පුරා විවිධ කටකතා පැතිර යද්දී නදීකා දරුණු මානසික පීඩාවකට ලක්වූවාය.
"ගමේ හුඟක් අය මං ගැන කතා වෙනවා. ඔයා මං ගැන තැන තැන කියනවා නේද?" නදීකා එසේ සුනිල්ගෙන් ඇසූ අවස්ථා එමටය. එහෙත් මෙම උගුලෙන් බේරිය හැකි ක්‍රමයක් ඇය සතුව නොතිබුණු නිසා සුනිල් සමඟ පැවැත්වූ සබඳතාව අත්හැරීමට ඇයට නොහැකි විය. සුනිල් සන්තකයේ තිබූ ඡායාරූප සිය සැමියා අතට පත්වුවහොත් ඔහුට නැවත කෙසේ මුහුණ දෙන්නද? ඇයට තිබූ ප්‍රබලම ගැටලුව වූයේ එයයි. නදීකාගේ සැමියා ඇයට දැක්වූ සෙනහසේ තරම සීමා මායිම් නොමැති එකක් වූ බවද ඇය දැනසිටි නිසා ඇයගේ මානසික මට්ටම දිනෙන් දින පහළට වැටෙන්නට විය.

සුනිල් විටින් විට නිවෙසට පැමිණියා පමණක් නොව නදීකාගේ සැමියා නිවෙසේ වියදමට ලබාදෙන මුදල්ද ඔහුගේ අවශ්‍යතාවන් සඳහා බලහත්කාරයෙන් මෙන් ලබාගත්තේය. මනුස්සකම පසක තබා තිරිසන් ගතිය ඉස්මතු කළ සුනිල්ගේ ක්‍රියා කලාපයට පිළිතුරක් සොයා ගන්නට නදීකා බොහෝ වෙහෙස මහන්සි වුවත් ඊට පිළිතුරක් නොලැබුණු තැන ඇය දැඩි තීරණයකට එළැඹුණාය.

සිද්ධියට දින හතරකට පමණ උඩදී නිවාඩු අවසන් කර නැවතත් දියතලාවේ පිහිටි නාවික හමුදා කඳවුරේ සේවයට ගිය සෙබළ සැමියාට ලිපියක් ලියා දරුවන් තිදෙනා සමඟ ජීවිතය නැතිකර ගැනීමට අෑ තීරණය කළාය. අටවැනිදා අලුයම ලිපිය ලියා අවසන් කළ ඇය මරණය පිළිබඳව දැන්වීමට අවශ්‍ය සිය ආදරණීය මවගේ හා අප්පච්චිගේ දුරකතන අංක කොළයක ලියා මුළුත්නැන්ගෙයි පිටුපස ‍ෙදාරෙහි පිටතින් ඇලවූවාය.

පසුගිය අප්‍රේල් 08 වැනිදා තවත් ඛේදවාචකයක සටහන් තබමින් අලුයම 4.15ට පමණ නින්දේ පසුවූ දරු දෙදෙනා සිය දෑතට ගත් නදීකා නිවෙස ආසන්නයේ පිහිටි ජලය සහිත ගැඹුරු ළිඳ අසලට පැමිණ ජලයෙන් පිරී තිබුණු ළිඳට දරු දෙදෙනාම වීසි කළාය. සිය කුසින් බිහිකළ දරුවන් දෙදෙනකු මරා දමන්නට සිත දැඩිකරගත් ඇය නිවෙසේ මුළුතැන්ගෙය වෙත පැමිණ කඹයකින් සෑදූ තොණ්ඩුව ගෙලට දමාගෙන බාල්කයේ එල්ලී දිවිතොර කර ගත්තාය. නදීකා දරුවන් තිදෙනාම මරා දමන බවට ලිපියේ සඳහන් කළත් හත් හැවිරිදි වැඩිමහල් දරුවා සිද්ධිය වන අවස්ථාවේ නිවෙසේ නිදා සිටියත් ඔහුට කිසිදු හානියක් සිදුකර තිබුණේ නැත.

නදීකාගේ හත් හැවිරිදි වැඩිමහල් දරුවා උදෑසන අවදිවී නිවෙසේ මුළුතැන්ගෙට පැමිණෙද්දී මව නිවෙසේ බාල්කයක එල්ලී සිටින අයුරු දැක මුළුතැන්ගෙයි ‍ෙදාර විවර කරගෙන නිවෙසට යාබදව පිහිටි නිවෙසට දිවගොස් "නැන්දේ නැන්දේ අම්මා ලණුවකින් එල්ලිලා ඉන්නවා" යනුවෙන් පවසා තිබිණි. නදීකා කුමක් හෝ අනතුරක් සිදුකරගෙන ඇති බව වටහාගත් අසල්වැසි නිවෙසේ පදිංචි යුවළ නිවෙස දෙසට දිවවිත් අඩවල් වී තිබුණු නිවෙසේ ‍ෙදාර විවෘත කර බැලූහ. නදීකා මුළුතැන්ගෙයි බාල්කයක එල්ලෙමින් සිටින අයුරු දුටු ඔවුන් හෙමින් සීරුවේ නිවෙසට ඇතුළු වී දරු දෙදෙනා නිවසේ සිටී දැයි විපරම් කර තිබේ.

එහෙත් දරු දෙදෙනා නිවෙසේ නොසිටි නිසා සැකයට මෙන් නිවෙස ආසන්නයේ පිහිටි ළිඳ අසලට ගොස් එබී බලද්දී දරු දෙදෙනා කුඩා බෝනික්කන් දෙදෙනකු මෙන් ජලයේ පාවෙමින් සිටින අයුරු දැක මහා හ¾ඩින් විලාප නඟා තිබේ. ඉන් කලබලයට පත්වූ අසල්වැසියන් විශාල පිරිසක් නදීකාගේ නිවෙස දෙසට දිව විත් තිබේ. ඛේදවාචකය කන වැටුණු ජය ශ්‍රී මහා බෝධියේ කපු මහතා වශයෙන් කටයුතු කරන බී. ජයවර්ධන මහතා එහි පැමිණ අපරාධය සිදු වී තිබෙන ස්ථානයෙන් සියලුම දෙනා ඉවත්කර ඒ පිළිබඳව අනුරාධපුර පොලිසියට දන්වා තිබිණි.

එම දැන්වීමට අනුව එහි පැමිණි අනුරාධපුර මූලස්ථාන පොලිසිය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්. කුමාරසේන, උප පොලිස් පරීක්ෂක එච්. විදාන ගමගේ ඇතුළු නිලධාරීහු පිරිසක් සිය පරීක්ෂණ කටයුතු ආරම්භ කළහ. ඛේදවාචකය කන වැකුණු අසල්වැසි ගම්මානවල පදිංචිකරුවන්, ඥාතීන් ඇතුළු දහස් ගණනක් නදීකාගේ නිවෙසට එක් රොක්වූහ. මේ හේතුවෙන් පොලිසියේ පරීක්ෂණ කටයුතුවලටද බාධා එල්ල වූ අතර අපරාධ ස්ථානයෙන් සියලු දෙනා ඉවත් කළ පොලිසිය නිවෙසට ඇතුළුවී මෙම සිදුවීම කාන්තාව සිදුකළ එකක්ද යන්න තහවුරු කිරීමට අවශ්‍ය සාක්ෂි සොයන්නට පටන් ගත්තේය.

නිවෙසට ඇතුළු වූ පොලිසිය මරණකාරියගේ අත් අකුරින් ලියා ඡායාරූප ඇල්බමයක් තුළ දමා තිබූ පිටු හතරකින් යුතු ලිපියක් සොයාගත් අතර ඇය අසල්වැසි පුද්ගලයකු සමඟ පැවැත්වූ අනියම් සබඳතාවක් හේතුවෙන් දරුවන්ගේ ඝාතනයන් හා ඇයගේ මරණය සිදුව තිබෙන බව පොලිසිය කඩිනමින් අනාවරණය කර ගත්තේය.
"මගේ මරණයට සැමියාගේ කිසිම සම්බන්ධයක් නෑ. මගේ හිතට වද දෙන ප්‍රශ්නයක් තියෙනවා. මම මැරුණහම දරුවන්ට ටොකු කකා ජීවත් වෙන්න සිද්ධ වෙයි. ඒ නිසා දරුවනුත් මරාගෙනම මැරෙනවා. මගේ වකුගඩු දෙක අප්පච්චිට ලබාදෙන්න. මගේ ඇස්දෙක පෙනීම නැති කෙනකුට දෙන්න. මම දරුවෝ තුන්දෙනාම මරලා මාත් මැරෙනවා. දරුවන්ගේ පංචායුධ, රන්මාල, මුදු හා සඟවාගත් මුදල් සියල්ල නිවෙසේ තියෙනවා."

දරුවන් මරා දැමීමට පෙර ඇය විසින් දරු දෙදෙනාගේ ගෙලේ බැඳ තිබූ පංචායුධ හතරක් ගලවා නිවෙසේ තබා තිබියදී පොලිසිය සොයා ගත් අතර ඇය සතු වූ පෙන්ඩනයක් සහිත රන් මාලයක්, මුදු හතරක්, ජංගම දුරකතන තුනක් හා රුපියල් 9,120ක මුදලක් සමඟ ඒ.ටී. එම්. කාඩ්පතක් පොලිස් භාරයට ගෙන තිබිණි. දරුවන් තිදෙනාම ළිඳට දමා තමන්ද සියදිවි නසාගන්නා බව ලිපියේ සඳහන් කර තිබුණත් වැඩිමහල් පිරිමි දරුවාට අනතුරක් සිදු නොකර දියණියන් දෙදෙනා පමණක් මරා දැමීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ පොලිසියට මෙන්ම අසල්වැසියන්ටත් දැඩි ගැටලුවක් වී තිබිණි.

මෙම සිදුවීම සිදු වන විට නිවෙසේ සිටි එකම පුද්ගලයා වූයේ නදීකාගේ වැඩිමහල් පුත්‍රයාය. හත් හැවිරිදි කවිෂ් අෂ්මිතගෙන් පොලිසිය සිදුවීම පිළිබඳව ප්‍රශ්න කළේය. 'පුතේ කවුරුහරි අම්මව හමුවෙන්න ගෙදරට ආවද? අම්මා අඬ අඬා කාත් එක්ක හරි කතා කළාද? පුතා දැක්කද අම්මා නංගිලාව අරගෙන යනවා' ඒ කිසිවක් තමන් නොදුටු බව අෂ්මිත පොලිසියට කීවේය.

අසල්වාසීන්ගේ දැන්වීම මත මහවිලච්චිය ගම්මානයේ සිට එහි පැමිණ සිටි මියගිය කාන්තාවගේ මව, පියා ඇතුළු ඥාතීන් 'ඇයි දෙයියෝ මේ බෝනික්කෝ දෙන්නා මෙහෙම මරා ගත්තේ. අපේ ඇඟේ දැවට දැවටී හිටපු දරුවන්ට මේ වගේ අපරාධයක් කළේ ඇයි' යනුවෙන් පවසමින් විලාප දෙමින් හඬා වැටුණහ. ඔවුන් පැවැසුවේ මෙවැනි අවාසනාවන්ත ඉරණමක් සිදුකර ගැනීමට තරම් ප්‍රශ්නයක සිය දියණිය සිටින බව කිසිවකු නොදත් බවයි. අවුරුද්දට මිලදී ගත් ඇඳුම් අරගෙන මහවිලච්චියේ පිහිටි නිවෙසට පැමිණෙන බව ඇය දින දෙකකට පමණ ඉහතදී දුරකතනයෙන් පැවැසූ බවත් අසල්වැසියන් සිටින නිසා කිසිදු කරදරයකින් තොරව නිවෙසේ සිටින බවත් ඇය පැවැසුවා යැයි ඥාතීහු පැවැසූහ.

තරුණිය අනියම් සම්බන්ධතාව පැවැත් වූ වයස අවුරුදු 32ක් පමණ වන පුද්ගලයා විටින් විට ඇයව බියගන්වමින් මුදල් ඉල්ලා තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබිණි. අනියම් සබඳතාව සැමියාට පවසන බවට තර්ජනය කරමින් ඔහු කාන්තාව බිය ගන්වා ඇති බව සිදුකළ පරීක්ෂණවලදී පොලිසිය අනාවරණය කරගෙන තිබුණු අතර බිය හා ලැජ්ජාව හේතුවෙන් ඇය මෙවැනි අවාසනාවන්ත තීරණයක් ගෙන තිබෙන බව පොලිසිය සඳහන් කෙළේය.
නදීකා නිවෙස ආසන්නයේ පදිංචිව සිටින අසල්වාසීන් පැවැසුවේ ඇයගේ සැමියා නිවුණු ගති පැවතුම් ඇති තරුණයකු බවයි. මරණකාරියත් ඔහුත් අතර කිසිදු දිනක නිවෙසේ අඬදබරයන් නොතිබුණු බවයි. විහාරකල්ලංචියේ ඇතුළු ගම්මාන කිහිපයකම පදිංචි දහස් ගණනක් මෙම ඛේදවාචකය සැලවීමත් සමඟම එම නිවෙසට රොක් වී සිටියහ. ඔවුන් බොහෝ දෙනකුගේ කසුකුව පිළිබඳවද අප අවධානයෙන් සිටියෙමු.

'ඔය සිද්ධිය මුළු ගමම දන්නවා. නදීකා සුනිල් එක්ක සම්බන්ධයක් තිබ්බ එක ගැන. ලොකු කොල්ලා නොමරා පොඩි එවුන් දෙන්නා මැරුවේ ඒ දරුවොත් සුනිල්ගේ කියලා කියන නිසයි. නමුත් අර මිනිහා හොඳ හින්දා වාසගම දීලා. මේකි අපේ ගමේම නම කැත කළානේ. කරපු පාප කර්ම විඳදරා ගන්න බැරුව තමයි ඕකි මැරුණේ. මැරෙන්න ඕන නම් තනියෙන් මැරෙන්න තිබ්බනේ. අහිංසක දරුවෝ මරන්නෙ නැතිව. ආත්ම ගාණක්ම ඔය පාපකර්මේ කරන්න ඇති. අර තිරිසනා කරපු අලුගුත්තේරු වැඩ හින්දා තමයි මේ කෙල්ල මෙහෙම කළේ. ඕකාවයි පවුලේ එවුනුයි ගහලා ගමෙනුත් පන්නන්න ඕන.'
'නෑ...නෑ... ඔය කතා කට කතා. ඔය දරුවො දෙන්නටම ලොකු ලෙඩක් තියෙනවා. ඒ නිසා කෙල්ල මැරෙන්න ඉස්සෙල්ලා දරුවෝ දෙන්නා ළිඳට දාන්න ඇති' ඒ තවත් අයකු පළ කළ මතයයි.

මෙම ඝාතනයන්ට හා මරණයට හේතු වූ බව කියන සුනිල් අනුරාධපුර මූලස්ථාන පොලිසිය මඟින් පොලිස් භාරයට ගනු ලැබුවේය. එහිදී ඔහු පොලිසියට මේ පිළිබඳව ප්‍රකාශයක් ලබාදී තිබිණි. 'මම එක්ක අනියම් සම්බන්ධය පවත්වන්න ඉස්සෙල්ලා නදීකා ගමේ වෙනත් තරුණයෙක් එක්ක සම්බන්ධයක් පැවැත්වූවා. මම ඒක දැනගත්තා. නදීකා අඬ අඬා මා ගාවට ඇවිල්ලා කිව්වා අයියේ මේක මහත්තයටවත් ගමේ කාටවත් කියන්න එපා කියලා. මගේ කකුල් දෙක අල්ලලා වඳින්නම් කිව්වා. මම කවදාවත් නදීකාගෙන් කප්පම් ඉල්ලලා නෑ සර්. මම අතමාරු කර ගත්තා. නමුත් ඒ හැම දෙයක්ම ආපසු දුන්නා' යනුවෙන් ඔහු පොලිසියට පවසා තිබුණේය.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon