වැලපෙන්නීය ඇය සයනය මත විඳවන අතර ජීවිතය යදිමින

  👤  1751 readers have read this article !
By mawbima 2017-04-16

සිය සිහින සහ අපේක්ෂාවන් මල්ඵල ගන්වාගෙන සැපවත් ජීවිතයක් ගත කිරීමට සුජානි රාජපක්ෂ තම සැමියා සමඟ එක්ව නොගත් උත්සාහයක් නොමැතිය.
කර්කශ වූ මහ පොළොව සමඟ පොර බදා ගොවිතැන් බත් සරිකර ගනිමින් ඉන් ලැබෙන ආදායමෙන් පණ ගැට ගසාගෙන කෙසේ හෝ ලස්සන නිවෙසක සිහිනය සැබෑ කර ගැනීම නොච්චියාගම රනෝරාව ප්‍රදේශයේ පදිංචි සුජානි රාජපක්ෂගේ ඒකායන අපේක්ෂාව විය.
ඉන් නොනැවැතුණු ඇගේ සිත තම දරුවන් දෙදෙනාට හොඳ අධ්‍යාපනයක් ලබා දී සමාජයේ වගකිව යුතු පුරවැසියන් බවට පත් කිරීමේ සිහිනයද යථාර්ථයක් බවට පත්කර ගැනීම ඇගේ තවත් අරමුණක් විය.

සිහින සහ අපේක්ෂාවලින් පිරි පැවැතුණු ඇගේ ප්‍රාර්ථනා සියල්ල සුනු විසුනු වී ගොස් හමාරය. සුජානි අද අනුරාධපුර ශික්ෂණ රෝහලේ අංක 04 වාට්ටුවේ ඇඳක පූර්ණ ආබාධිත තැනැත්තියක ලෙස උඩුකුරුව වැතිරී සිටින්නීය.
ජීවිතය පිළිබඳ බොහෝ දේ ගැන නිරන්තරයෙන් සිතන්නට වූ සුජානි නොච්චියාගම රනෝරාව ගමේ ජීවත්වන අනෙකුත් පවුල්වල අය මෙන් තමන් ඇතුළු පවුලේ සියලු දෙනාට සැපවත් ජීවිතයක් ගත කිරීම සඳහා ලස්සන නිවෙසක් සහ අගහිඟකම්වලින් තොර අනාගතයක් ගොඩනඟා ගන්නේ කෙසේද යන්න සිය සැමියා වන සරත් උපාලි වීරකෝන් සමඟ ඉඩ ලැබෙන සෑම අවස්ථාවකදීම කතා කළාය.

සුජානිගේ කතාවට ඇහුම්කන් දෙන අතරතුර ඊට හූමිටි දෙනවා හැරුණු විට උපාලිට වෙන කිසිවක් කර කියාගත නොහැකි විය.
'ඒයි උපාලි අපිට හැමදාම මහ පෙළොව තඩි ගහල නම් ගෙයක් ‍ෙදාරක් හදාගෙන, දරුවන්ට උගන්වන්න හම්බ වෙන්නේ නෑ. බලන්නකො අපේ ගමේ කී දෙනෙක් නම් රට ගිහින් සල්ලි හම්බ කරගෙන ඇවිත් ගෙවල් ‍ෙදාරවල් හදාගෙන ලස්සනට ජීවත් වෙනවද? ඇයි අපටත් පුළුවන්නෙ රට ගිහින් කීයක් හරි
හොයා ගෙන ලස්සනට ගෙයක් ‍ෙදාරක් හදා ගන්න. අනෙක මේ තියෙන පුංචි කාමර දෙක අපි දෙන්නටයි දුවටයි පුතාටයි ජීවත් වෙන්න මදිනෙ. ඒ නිසා මම අවුරුදු දෙකකට විතර රට ගිහින් එන්නම්' සුජානි රාජපක්ෂ සිය සැමියා උපාලිට කීවාය.

ඊට සැමියාගේ ආශීර්වාදය සහ අවසරය ලබාගත් සුජානි පසු දින අනුරාධපුර නගරයේ නව බස් නැවතුම්පොළ අසල පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයකට තැරැව්කරුවකුගේ මාර්ගයෙන් ගොස් කුවේට් රටේ ගෘහ සේවය සඳහා යෑමට අවශ්‍ය කටයුතු ලහි ලහියේ සූදානම් කර ගත්තාය.
එලෙස විදේශ ගතවූ ඇය පිළිබඳ මාස දෙකක් පමණ ගත වනතුරු කිසිදු හෝඩුවාවක් දැන ගැනීමට නොමැති විය. ඉන් කලබලයට පත් සුජානිගේ සැමියාත් පවුලේ අනෙකුත් ඥාතීනුත් ඇය විදේශ රැකියාව සඳහා යැවූ විදේශ රැකියා නියෝජිත ආයතනයෙන් විමසා බලන්නට වූහ.
සරත් උපාලි වීරකෝන් ඒ පිළිබඳ වැඩිදුර විස්තර කළේය.

දෙදහස් දහ හතරේ දෙසැම්බර් මාසේ දහඅට වැනිදා සුජානි රට ගියේ. ඒ ගිය පසු මාස දෙකක් පමණ ගත වෙලත් සුජානි අපට කතා කළේ නෑ. එම කාලය තුළ එයා කොහෙ ඉන්නවද මොනවා කරනවද කියල කිසිම හෝඩුවාවක් දැන ගැනීමට ලැබුණේ නෑ. ඊට පසු මේ ගැන සුජානි රට යවපු විදේශ රැකියා නියෝජිත ආයතනයට සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට අප පැමිණිලි කළ පසු එහි නිලධාරීන් ක්‍රියාත්මක වී සුජානි පිළිබඳ තොරතුරු සොයා බලා අප සමඟ දුරකතනයෙන් කතා කිරීමට අවශ්‍ය කටයුතු සලසා දුන්නා.

සුජානි එම අවස්ථාවේ අප සමඟ පැවැසුවේ එයා වැඩ කරන ගෙදර වැඩ වැඩියි. ඒ වගේම කරදරයි කියලා. ඊට පසු සුජානි ලංකාවට ගෙන්වන්න හැදුව. මේ විදියට කාලය ගත වෙද්දී දෙදහස් පහළොවේ අවුරුද්දේ නොවැම්බර් මාසේ නව වැනිදා සුජානි නැවතත් දුරකතනයෙන් කතාකර කිව්වා මට නම් වැඩ වැඩියි. ගෙදර එන්න මට තව අවුරුද්දනේ තියෙන්නේ මොන කට්ට කාල හරි ඒ අවුරුද්දත් ඉඳලම එන්නම් කියල. එම අවස්ථාවේ කුවේට් රටේ ඒජන්සියේ නෝනා කෙනකුත් කතා කර මගෙන් ඇහුවා දැන් ඔයාගේ නෝනා ඉන්නවනෙ බය වෙන්න දෙයක් නෑ. ප්‍රශ්නයකුත් නෑ නේද? කියලා. මම එවිට කිව්වා ප්‍රශ්න නැතිවමත් නෙවෙයි කියලා.
පසුව සුජානි කතා කළ නිසා මම විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට ඉදිරිපත් කර තිබූ පැමිණිල්ල ඉල්ලා අස්කර ගත්තා. ඊට පසු මම සුජානි ගැන හොයන්න උනන්දු වෙන්නේ නෑ කියල හිතාගෙන සුජානිගේ පවුලේ අය එයා ගැන හොයන්න ගත්ත. ඊට පසු නැවැතත් සුජානිගේ පවුලේ අය ඇය සොයා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ අනුව සොයා බැලීමේදී දෙදහස් පහළොවේ දෙසැම්බර් මාසේ හය වැනිදා දැන ගැනීමට ලැබුණ සුජානි තට්ටු තුනක ගොඩනැඟිල්ලකින් පැනල බරපතළ තුවාල ලබා කුවේට්වල අදාම් රෝහලේ ප්‍රතිකාර ලබනවා කියලා. නමුත් සුජානි කියන්නේ එයා වැඩ කරපු ගෙදර හාම්පුතාගේ ගෑනි ගහල තට්ටු තුනක ගොඩනැඟිල්ලක පඩි පෙළක් දිගේ පයින් ගහගහ පහළට තල්ලු කළා කියලා.
ඒ අනුව සුජානිට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මාස තුනක් පමණ ප්‍රතිකාර කිරීමෙන් පසු සාමාන්‍ය වාට්ටුවකට දාල තිබුණා. එයාගේ නහයට බට දාල තමයි කිරි එහෙම දීල තිබුණේ.

මාස හය හතක් පමණ ගතවූ පසුව බට ගලවා තිබුණෙ. ඊට පසු තමයි සුජානි කතා කිරීමට පටන් ගත්තෙ. පස්සේ තලතා අතුකෝරල ඇමැතිතුමිය හමුවෙලා සුජානි පත්ව සිටින තත්ත්වය ගැන කියල එතුමියගේ මැදිහත්වීමෙන් විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මඟින් සුජානිව දෙදහස් දහසය වසරේ දෙසැම්බර් මාසේ විසිහය වැනිදා ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළේ.

එයා ලංකාවට ගෙනැවිත් මුලින්ම බොරැල්ල මහ රෝහලට ඇතුළත් කළා. ඊට පසු සුජානි ගෙදර ගෙනැවිත් දවස් තුනක් හතරක් පමණ හිටියා. ඉන් පසු හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවීම නිසා නැවැතත් සුජානි අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළා. එතැන් සිට එක දිගට දැනට මාස තුනක පමණ කාලයක් සුජානි අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා. සුජානිගේ පිටකොන්දේ කොඳු ඇට පෙළ අසල සහ තට්ටම ප්‍රදේශයේ ලොකු තුවාල දෙකක් තියෙනවා. ඒ තුවාල හොඳ කර ගැනීමට තමයි රෝහලේ නවත්වල ඉන්නෙ.

ඊට අමතරව කුවේට්වලදී ඇද වැටීමෙන් සුජානිගේ සුෂුම්නාවට සිදුවී ඇති හානිය තමයි ප්‍රශ්නයකට තියෙන්නෙ. ඒක හොඳ කර ගැනීම බරපතළ කාරණයක්. නමුත් රෝහලේ වෛද්‍යවරුන් කියනව සුජානි හොඳ කරන්න පුළුවන් කියලා.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඇඳක් මත බොහොම අපහසුවෙන් උඩුකුරුව සිට ප්‍රතිකාර ලබන සුජානි අමාරුවෙන් සිය මුව විවර කරමින් කියා සිටියේ, නිසි ආකාරව රෙදි සෝදා පිරිසුදු නොකිරීමේ වරදට තමන් සේවය කළ නිවෙසේ හාම්පුතාගේ බිරිය තමාට බිම පෙරළාගෙන හොඳටම අතින් පයින් පහරදී තට්ටු තුනක් උස ගොඩනැඟිල්ලක පියගැට පෙළක් දිගේ පහළට තල්ලු කළ බවත්, ඉන්පසු වූයේ කුමක්ද යන්න තමා නොදන්නා බවත්ය.

විදේශ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ උපදෙස් මත විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ඇය කුවේටයේ සිට මෙරටට යළි ගෙන්වා ගැනීමට ලංකා මුදලින් රුපියල් ලක්ෂ නවයහමාරකට ආසන්න මුදලක් වැයකොට ඇත. ඊට අමතරව සුජානිට අපහසුතාවක් ඇති නොවන සේ නිදා ගැනීමට රුපියල් එක් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා විශේෂ ඇඳක් සහ ප්‍රතිකාර කිරීමේදී අවශ්‍ය වියදම් පියවා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් රුපියල් ලක්ෂ හතරක මුදලක් ඇයට පරිත්‍යාග කරනු ලැබ ඇත.

සුජානි මේ වනවිට අත් පා අප්‍රාණික වූ ආබාධිත තැනැත්තියක් බවට පත්ව ඇත. ඇයට යාන්තමින් මුමුනමින් කතා කිරීම හැර වෙනත් ක්‍රියාකාරකම්වල නිරත වීමට නොහැකි තත්ත්වයක පසුවන්නීය. ඇගේ එකම ඉල්ලීම වනුයේ තමන් ඇතුළු පවුලේ සියලු දෙනාට රිසි සේ ජීවත්වීමට නිවෙසක් සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ආධාර කිරීමට පරිත්‍යාශීලීන් වෙතොත් ඒ සඳහා ඉදිරිපත් වන ලෙසයි.

අනුරාධපුර - එරන්ද ශෂිප්‍රිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon