සීනිගම දේවාලෙ ‘කිරි සිහින’ පූජාව

  👤  1731 readers have read this article !
By mawbima 2017-04-16

හික්කඩුව සීනිගම දේවාලය වූ කලී දෙවොල් දෙවියන්ගේ ආශීර්වාදය ලත් හාස්කම් සහිත පූජනීය ස්ථානයකි. මුහුද මැද පිහිටා ඇති දේවාලය දෙවොල් දෙවියන්ගේ ජීවිතය හා බැඳී පවතී. සීනිගම යනු එවකට රජුන්ට සීනි සැපයූ ගම්මානයකි. තවත් මතයක් ඇත්තේ සීනි හා හකුරු සැපයූ බවය. දෙවොල් දෙවියන්ගේ ප්‍රධාන දේවාලය ලෙස සැලකෙන්නේද සීනිගමය. සීනිගම දෙවොල් දෙවියන් මාලි නමැත්තකු විසින් ඉදිකර දෙන ලද බවද ජනප්‍රවාදයේ සැලකේ.

සීනිගම කියූ විට සැබවින්ම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පොල් ගසන, මිරිස් අඹරන හා පළි ගහන ස්ථානයක් වශයෙනි. තමන්ට වූ අසාධාරණයන් පිළිබඳ දෙවොල් දෙවියන් ඉදිරියේ තම දුක කියන්නට කන්නලව් කරන්නට, ආශිර්වාද ලබා ගැනීමට, මිරිස් ඇඹරීමට හා පොල් ගැසීමට දිවයිනේ නන්දෙසින් විශාල පිරිසක් මේ දෙවොල් පුදබිම වෙත පැමිණෙති. මේ අය අතර දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, ධීවර කාර්මිකයන් ඇතුළු විවිධ විෂයයන් නියෝජනය කරන අය ද වෙති. මුහුදු දේවාලයට එන කිසිවෙක් සෙත් නොපතති. වරදක් කළ අයගේ අයහපත පතා පළි ගසන්නට මොවුහු මෙකී දේවවොල් බිමට පැමිණෙති.

එහෙත් පසුගියදා මේ දෙවොල් පුදබිම ගර්භණී මාතාවන්ගෙන් හා දරු පල අපේක්ෂාවෙන් සිටින මවුවරුගෙන් පිරි ඉතිරි ගියහ. මෙකී මවුවරුන් දෙවොල් පුදබිම වෙත පැමිණියේ දෙවොල් දෙවියන්ගේ ආශිර්වාද ලබා ගැනීමට හා තුලාභාර දානමය පින්කමට සහභාගි වීම සඳහාය. සීනිගම දෙවොල් පුද බිමේ තුලාභාර පින්කමේ නිර්මාතෘවරයා වන්නේ සීනිගම දේවාලයේ භාරකාර සරත් දියෙන් තුවාහන්දි මහතාය. ඔහුගේ සිතට නැඟුණු සංකල්පයකට අනුව ගැබිනි මවුවරුන් වෙනුවෙන් තුලාභාර දානමය පින්කම දැනට වසර හතරක පමණ සිට සීනිගම දෙවොල් පුද බිමේ දී පවත්වන්නේය.

සරත් දියෙන්තුවාහන්දි මහතා දේවාලයේ භාරකාර ධුරයට පත්වීමෙන් පසු දේව සංකල්ප පිළිබඳ අධ්‍යයනය කළේය. ඔහුට අවශ්‍ය වූයේ අසරණ තත්ත්වයට පත් ජනි ජනයා වෙනුවෙන් යමක් කිරීමයි. ඔහු මේ වෙනුවෙන් තොරාගත්තේ දුගී බවෙන් පෙළෙන ගැබිනි මවුවරුන්ය. ඒ විතරක් නොව දරුපල නොමැති කාන්තාවන්ද ඔහු මෙකී පින්කම සඳහා තෝරාගත්තේය. ගැබිනි මවුවරුන්ගේ බර කිරා මැන දුගී බවින් යුත් මවුවරුන් තෝරාගත්තේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් මඟිනි.
දරුපල නොමැති කාන්තාවන් වෙනුවෙන් සිදු කරන පින්කම නම් කොට තිබුණේ කිරි සිහිනය නමිනි.

මෙතන ප්‍රසිද්ධ සීනි අඹරන පොල් ගහන තැනක් කියලානෙ. මට අවශ්‍ය වුණා දෙවියන්ගේ ශක්තිය වැඩි කරලා පෙන්වන ක්‍රමයක්. දෙවියන්ට අවශ්‍ය පින්. අඩු ආදායම්ලාභී ගැබිනි මාතාවන් 07 දෙදෙනකුගෙන් තමයි 2014 වර්ෂයේදී තුලාභාර පින්කම ආරම්භ කළේ. තුලාවක් හදලා ගැබිනි මාතාව එක් පසෙක වාඩි කරනවා. තුලාවේ අනික් පස ඒ මවගේ බරට සමාන භාණ්ඩ දමනවා. දරුවාට අවශ්‍ය භාණ්ඩ, උපකරණ, පෝෂණ ද්‍රව්‍ය, ඇඳුම් පැලඳුම් බෙහෙත් හේත් ඒ භාණ්ඩවලට ඇතුළත්. කිලෝග්‍රෑම් 102 ක බර තියෙන අම්මා කෙනකුටද තුලාභාර දානය දුන්නා. මෙවර ගැබිනි මවුවරු 45කට පමණ අපි තුලාභාර දානය දුන්නා. මේ වනවිට ඒ වැනි ගැබිනි මවුවරුන් 150ක විතර මවුවරුන්ට තුලාභාර දානය ලබා දීලා තියෙනවායි සරත් දියෙන්තුවාහන්දි මහතා කියන්නේය.

දෙවොල් දෙවියන් ලෙඩ රෝග සුවපත් කිරීමටද දක්ෂ දෙවි කෙනකු බව ජනප්‍රවාදයේ පවතී. ඒ විතරක් නොව දෙවොල් දෙවියන් හොඳට නරකට දෙකටම සිටින දෙවි කෙනෙකි. එම නිසා නොයෙකුත් ලෙඩ රෝග අපල උපද්‍රව නැති කරගැනීමට දෙවොල් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට ජනී ජනයා මෙම දෙවොල් බිමට පැමිණෙති. කිරි සිහින පින්කම තුලාභාර පින්කමට සමගාමිව කරන පින්කමකි. කිරි සිහින පින්කමට දරුපල නොමැති කාන්තාවෝ් විශාල පිරිසක් දෙවොල් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට පැමිණෙති. මෙවර කිරි සිහිනය පින්කම සඳහා දරුපල අපේක්ෂාවෙන් සිටින මවුවරු 3000ක් පමණ සීනිගම දෙවොල් පුද බිමට පැමිණ සිටියහ.
'කිරි සිහින' කියලා කියන්නේ දරුවන් නැති මවුවරුන්ට කරන ආශිර්වාද පින්කමක්. එම ආශිර්වාද පින්කමට සහභාගි වෙලා ආශිර්වාද ලබාගත් මවුවරුන් 600කට පමණ දරුපල ලැබිලා තියෙනවා. කිරි සිහින පින්කම උදේ පාන්දරින්ම තමයි පටන් ගන්නේ. කිරි අම්මාවරුන් හත් දෙනකුට දානයක් දෙනවා. එදාට නානුමුර මංගල්‍යයක් පවත්වා පත්තිනි මෑණියන් අභිෂේක කරනවා. පත්තිනි මෑණියන් කිරියෙන්, පලතුරු යුෂවලින් සුවඳ පැනින් නාවනවා. සළු පිළි අන්දවා තිලක තියලා ආශිර්වාද කරනවායැයි කිරි සිහින පින්කම ගැන සඳහන් කරමින් දේවාලයේ භාරකාරවරයා සඳහන් කළේය.

එපමණක්ම නොව දරුවන් නොමැති මවුවරුන් පින්වත් දරු උපතක් ලැබෙන ලෙස ගැබිනි මවුවරුන්ට ආශිර්වාද කරන අතර ගැබිනි මවුවරු දරුවන් නොමැති කාන්තාවන්ට දරු ගැබක් ලැබෙනා ලෙස ආශිර්වාද කරයි. එසේ ආශිර්වාද කරගන්නා අවස්ථාව ඉතා සංවේදී අවස්ථාවකි.
මේ සියලු ආශීර්වාද ලබා ගැනීම සඳහා දෙවියන් සතුටු කළ යුතුය. දෙවොල් දෙවියන් සතුටු කිරීම සදහා නානුමුර මංගල්‍යය පවත්වන්නේ ඒ නිසාය. දෙවොල් දෙවියන් උදෙසා පවත්වනු ලබන නානුමුර මංගල්‍ය ගැනද දේවාලයේ භාරකාර සරත් දියෙන්තුවාහන්දි මහතා විස්තර කළේ මේ අයුරිනි.
දෙවොල් දෙවියන් වෙනුවෙන් මෙහි මා අභිෂේක මණ්ඩපයක් ඉදි කළා. ජනතාව මේ ස්ථානයට එන්නේ දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න. දෙවොල් දෙවියන් අභිෂේක කිරීමේ මංගලයක් මම සෑම පෝය දිනකම පවත්වනවා. දෙවොල් දෙවියන් දේව මාලිගාවෙන් අභිෂේක මණ්ඩපය වෙත වඩම්මනවා. ඊට පස්සේ නාවනවා. කිරි, පලතුරු යුෂ ඔෟෂධවලින් නාවනවා. සුවඳ පැන්වලින් නාවා සළු පිළි අන්දවා, ආභරණ පලන්දවලා, තිලක තියලා ඒ කටයුතු කරනවා. මේක කරන්නේ දෙවියන් සතුටු කිරීමට. එසේ කළේ නැතිනම් මෙම පින්කම්වලින් නියම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ යැයි සරත් දියෙන්තුවාහන්දි මහතා පැවැසීය.

ගාල්ල - ලලිත් රුහුණගේ සහ කේ.ඒ.එස්.කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon