කෘතිම අවුරුදු

  👤  1689 readers have read this article !
By mawbima 2017-04-16

ඉස්පාසුවක් නැති නාලිකා බලහත්කාරයෙන් 'රෙකෝඩින් කොහා' හඬවයි. එතැන් සිට තත්පරයෙන් තත්පරය නැකත් වේලාව වෙනුවෙන්. මිනිස්සුන්ව උනන්දු කරවයි.
දවස් දෙකක් හෝ තුනක් කොළඹ සහමුලින්ම පාළුකර දමා තිබේ. ගම් බලා දුවන්නට දින ගනිමින් කල් බැලූ කොළඹ තාවකාලික නවාතැන් ගෙන හිඳින මිනිස්සු ගම් කරා ගොස් තිබේ.

පහුගිය දිනවල හැල්මේ දුවපු මිනිස්සු හුස්මක් කටක් නොගෙන වෙහෙසුණේ ඉදිරියට එන්නට තිබූ වැඩ වරන දින කිහිපයක පාඩුව පියවා ගන්නට වාගේය. තත්පරයක් මඟ හැරුණොත් දින කිහිපයක් අත්හැරෙන බව අත්දැකීමෙන් දන්නා මිනිස්සු මොහොතක් පාසා 'වේගයෙන්' ජීවිතය ඇහිඳිමින් සිටියහ.
'ඔන්න මේ අවුරුද්දටවත් ගෙදර ඉන්න ඕනා'

පිළිවෙළකට කැපූ අන්දර ගසෙන් ඕනවට වඩා ඉක්මනින් උස්මහත් වූ අතු කිහිපයක් කතුරට හසු කරගනිමින් අෑ අවුරුද්දට පෙරාතුවම කීවාය. දින කිහිපයකට තබා පෑ කිහිපයකට හෝ පෙරාතුව නිවාඩු පාඩුවක් ගැන අනාවැකි කිය නොහැකි 'රස්සාවක්' කරන ඕනෑම අයෙක් පත්වන අසරණකම මටද එහෙමම නොදැනෙන්න පුළුවන්ද?
'දවස් හතරක් රෑ දවල් නැතිව වැඩ. අවුරුද්දට නිවාඩු ලැබෙන්නේ ‍ෙදාළහා රෑ. ගෙදර යන්න වෙන්නේ පරණ අවුරුදු දවසෙ. නිවාඩුව 15 වෙනිදායින් ඉවරයි. පහළව හැන්දෑවේ ආපහු කොළඹ එන්න ඕන...'

නර්තන කණ්ඩායමක සොයුරියක් මුහුණු පොතේදී කියා තිබුණාය. අෑ අද රාත්‍රීයේ ප්‍රසංගයකට සැරසෙනවාය.
මිනිස්සු ගම්වලට ගියාම කොළඹම පාළුයි. කීයක් හරි හොයාගන්න තියෙන්නේ මේ දවස් ටිකේ කට්ටක් කෑවොත් තමයි. ලොකු ලොකු දේවල් කෙසේ වෙතත් ගෙදර පොඩි උන්ට හරිහමන් කෑම වේලක් ඕනා'
එහෙම කියන්නී කොළොම්තොට රෑ සමනලියකි.

'මට කොහොමහරි අලුත් අවුරුදු දවසේ ගෙදර ඉන්න හදලා දෙන්න සර්, දරුවෝ එක්ක අවුරුදු ගාණකින් අලුත් අවුරුද්ද සමරලා නෑ'
පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙක් අවුරුදු දා වැඩමුරයෙන් මිදෙන්නට සිය ප්‍රධානියා අබියස පිං සෙංඩු වෙයි.
'බෑ බෑ...එදාට අපි නුවරඑළියේ යන්න ඉන්නේ. මෙහේ කවුරුත් නෑ. විහිළු නොකර වැඩ කරනවා අයිසේ'
බලාපොරොත්තුව 'පාපන්දුවක්' කරගත් ස්වාමියා ඒ පාපන්දුවට වේගවත් පා පහරක් දුන්නෙය.
'නිවාඩු ගන්න වෙන්නේ නෑ. අපි අවුරුද්දෙන් පස්සේ අම්මලා බලන්න යමු.'

ආරක්ෂක නිලධාරියා බිරියට කීවේ සංවේගයත් වේදනාවත් මුසුවය. ඔහුද අද වැඩ මුරයේය.
'මේ පොලිටිකල් වැඩවලින් චුට්ටක් අෑත් වෙලා සති අන්තයේ පොඩි චේන්ජ් එහෙකටත් එක්ක අපි සිංගප්පූර් යනවා.'
ඇමැතිගේ බිරියගේ ට්වීටර් සටහනක තිබුණේ එහෙමය.
හැමදාම අවුරුදු ඇති එයාලා අද සිංගප්පුරුවේ 'චෙන්ඡ්' එහෙක ය.
'අවුරුද්ද නුඹ එන්නේ එන මාසෙ මාව හිඟන්නෙක්ම කරලා දාන්න' රජයේ සේවයේ නියුක්ත තරුණයෙක් එහෙම සටහනක් තබා තිබුණේ දින ගණනකට පෙරය.
ඉකුත් දින කිහිපයේම උග්‍රව තිබූ නගරාසන්න තදබදය කෙමෙන් පහව ගියේය. හිරුටත් ඉස්පාසුවක් නොදී 'සේල්' බලා ඇඳුණු මිනිස්සු දැන් ඒ ගත් දෑ බුක්ති විඳිමින් සිටී. තෙරපි තෙරපී 'අරුමෝසම්' සොයපු මිනිස්සුද නැත. දින දෙක තුනක් තුළ සියල්ල සංසුන්ව ගොස්ය.

අවුරුද්දට ගෙදර යන්නට බැරිවූ බොහෝ දෙනෙක් හිස් වූ කොළඹ රස්තියාදු වූහ.
බොඳ වෙච්ච අහස හිටිගමන් හඬා වැටෙන අතර එසැණින් නිලට නිලේ පායා ගිනි අවුව පොළවට විදී. ඒ අතර හිත මොහොතක් නතරවෙන ගීතයක් මුහුණුපොතේ එහෙ මෙහේ හුවමාරු වෙයි. එහි වචන 'හුස්ම බර කරයි'. රත්න ශ්‍රී විජේසිංහයන් අකුරුවලට පණ දෙන්නේ ලෝබ කමක් නැතිවය. ජීවිතයේ අනේක ආර්ථික පීඩාවන් මැද ජීවිතය මඟ හැරෙන හැටි ඔහු අපූරුවට හසුකරගෙන ඇත.

රණවරා ගහේ මල් පිපෙන කාලෙට
සඳ සරා කුමරිය ඇවිත් කන්දට
අත වනා කියයි මට ගමට එන්නට
සකිසඳේ හැඬුම් මිස බැරිය සීපද
වැඩපළේ වහල උඩ අඬන කොවුලනි
මොකද මේ තොපට නැතුවද බඩගිනි
නම කියා විහිළු කළ කුරුලු දරුවනි
පර වුණාම එරබදු මලෙත් නෑ පැණි
එනතුරා පැලට අවුරුද්ද දුක නැති
මග බලාන ‍ෙදාරකඩ පුංචි දුව ඇති
පඩි අරන් හෙට උදේ ගමට යන සකි
නුඹ අතේම මට මගෙ කඳුළු යැව්වැකි
අවුරුද්ද උදෙසා ආයාසයෙන් පේවී කෘත්‍රිමව හදාගත් වටපිටාවක් හැරපියා නිරුත්සාහකව මතුවන අසිරියක් දැන් ඉතිරිව නැති ගානය. සියල්ල හුදකලා වී 'අතීතකාමයෙන්' රස විඳිනු විනා වර්තමාන ගෙමිදුලකට අවුරුද්ද ගොඩවදින්නේ නැත.

ෆොටෝෂොප්වලින් සැකසූ සුබපැතුම් පතක් මූණුපොතේ තිරයේ එල්ලෙන අතර, එස්එම්එස් කෙටි පණිවිඩයක් ලබන දුරකතන එළිය වෙයි.
කාලය වෙනස මවන්නේ එහෙමය.
රංජිත් කුමාර සමරකෝන්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon