ලෝකෙම ගොනාට අන්දන ඉන්ටර්නැෂනල් හිඟන්නා

  👤  1917 readers have read this article !
By mawbima 2017-04-16

බෙන්ජමින් හොල්ස්ට් තිස් දෙහැවිරිදි වියෙහි පසුවන ජර්මානු ජාතිකයෙකි. කලක් තිස්සේ රටවල් කිහිපයකම සංචාරයේ නිරත වී ඇති හොල්ස්ට් මෑතක සිට ජාත්‍යන්තර වෘත්තිය හිඟන්නකු ලෙසද ලොව පුරා බොහෝ දෙනකු අතර ප්‍රසිද්ධියට පත්ව ඇත.
වර්තමානයේදී බෙන්ජමින් හොල්ස්ට්ව ලෝකයේ කීර්තිමත් හිඟන්නා, ජර්මනියේ වංචාකාරයා සහ ජර්මනියේ රැවටිලිකාරයා ලෙස ලොව පුරා අන්තර්ජාල වෙබ් අඩවි සහ සමාජ ජාල වෙබ් අඩවි හරහා හඳුන්වනු ලබයි.

අසාමාන්‍ය ලෙස ඉදිමීමට ලක්ව ඇති හොල්ස්ට්ගේ දකුණු පාදය උපයෝගී කරගනිමින් හොල්ස්ටි ජාත්‍යන්තර වශයෙන් හිඟාකෑම සඳහා පෙලඹී ඇත.
හොල්ස්ට් පිළිබඳව නිරීක්ෂණය කර ඇති කණ්ඩායම්වල තොරතුරුවලට අනුව හොල්ස්ට් දිවා කාලයේදී හිඟාකෑමෙහි නිරත වී ඇති අතර රාත්‍රි කාලයේදී හෝටල් සහ රාත්‍රි සමාජ ශාලාහි පවත්වන සාදයන් සඳහා සහභාගි වෙයි.
බෙන්ජමින් හොල්ස්ට් සංචාරය කරන රටවලදී හිඟා කා උපයා ගන්නා මුදලින් ඒ ඒ රටවල කාන්තාවන් ඇසුරු කිරීමට සහ ඔවුන් සමඟ විනෝදයෙන් කාලය ගත කිරීමටද පෙලඹී සිට ඇත.

හොල්ස්ට් පිළිබඳව නිරීක්ෂණය කරමින් සිටින නිරීක්ෂකයන් ප්‍රකාශ කරන ආකාරයට හොල්ස්ට් රටරටවල සංචාරයේ යෙදී ඇත්තේද ඔහු සංචාරය කරන රාජ්‍යයන්ගේ ජනයාගෙන්, විදේශිකයන්ගෙන් සහ ආධාර සපයන සංවිධානවලින් හිඟාකා සහ ඉල්ලා ගන්නා ලද මුදල්වලින් බව වාර්තා පෙන්වා දෙයි.
හොල්ස්ට් යම් රටකට සංචාරය සඳහා ගිය විට හෝටලයක නතර වී එම රටේ වැසියන් සහ විදේශිකයන් ගැවසෙන ප්‍රදේශ පිළිබඳව සොයා ගන්නා අතර පසුව ඔහු එම ප්‍රදේශ වෙත ගොස් දිවා කාලයේදි හිඟාකෑමේ යෙදී ඇත.

හිඟාකෑමේ යෙදෙන අවස්ථාවේදී හොල්ස්ට් ප්‍රකාශ කර ඇත්තේ තමා මෙරට (හිඟාකන රටේ) රැකියාවක් කළ අතර තම කකුලේ තත්ත්වය හේතුවෙන් එයින් ඉවත් කිරීම හේතුවෙන් තමා හට ආර්ථික අපහසුතා ඇතැයි කියාය.
ඒ හේතුවෙන් තමා හට තම මවුරට වන ජර්මනියට යෑම සඳහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීම සඳහා මුදල් එකතු කර ගැනීම සඳහා මෙලෙස හිඟාකන බවය.
එහිදී ඔහු පිළිබඳව අනුකම්පා කරන දේශීිය සහ විදේශීය වැසියන් හොල්ස්ට් හට මුදලින් ආධාර උපකාර කර තිබේ. හොල්ස්ට් පවසා ඇති ආකාරයට ඇතැම් පුද්ගලයන් ඔහුට ඩොලර් 1500ත් 2000ත් අතර මුදල් ලබා දීමට තරම් කාරුණික වී ඇත.
හොල්ස්ට් ප්‍රකාශ කරන ආකාරයට ඔහු සංචාරය කළ ඇතැම් රටවල හෝටල් හිමියන් සහ වැසියන් ඔහුට නොමිලයේ සැප පහසුකම් සමඟින් නවාතැන් පහසුකම්ද සැපයීමට ක්‍රියාකර තිබේ.

හොල්ස්ට්ට අනුව වසර ගණනාවක් තිස්සේ ඔහු රට රටවල සංචාරයේ නිරත වී හිඟාකමින් ජීවත් වන අතර හොල්ස්ට් පරිත්‍යාගශීලී මිනිසුන් සිටිනවා යැයි ප්‍රසිද්ධ රාජ්‍යයන්ගේ පමණක් හිඟා කෑම සඳහා සංචාරයන්හි යෙදෙයි.
බෙන්ජමින් හොල්ස්ට්ට අනුව ඔහු මේ වන විට ලොව රාජ්‍යයන් තිහකට ආසන්න සංඛ්‍යාවකට සංචාරය සඳහා ගොස් ඇති අතර ඒ සෑම රාජ්‍යකදීම හිඟාකෑමෙහිද නිරත වී මුදල් උපයාගෙන තිබේ.

තවද ඔහු සංචාරය කරන රටවල ජනයාට හොල්ස්ට්ගේ ක්‍රියාවන් අසුවනතුරු සහ ඔහුව එම රටවලින් පිටුවහල් කරනතුරු ඔහු හිඟා කෑමේ ක්‍රියාවලියේ යෙදී ඇත. ඔහුට අනුව ඩෙන්මාර්කය, පිලිපීනය, හොංකොං, තායිලන්තය වැනි රාජ්‍යන්ගෙන් හොල්ස්ට් හට නැවත ඒ රටවලට පැමිණීම සඳහා තහනම් නියෝගයන්ද නිකුත් කර තිබේ.
ලොව පුරා සංචාරය කරමින් හිඟාකෑම වෘත්තිය ලෙස සිදු කරන හොල්ස්ට් ඔහු සහභාගි වන සාදවලදී සතුටු වන ඡායාරූප, මිල අධික ආහාර, ආහාරයට ගන්නා ආකාරය, ඔහු ලොව වටා රාජ්‍යන්වල සංචාරය කරන ආකාරය ඡායාරූප ගත කර ඔහුගේ සමාජ ජාල වෙබ් පිටුව හරහා මිතුරන් හා හිතවතුන් අතරේ ප්‍රසිද්ධ කිරීමටද කටයුතු කර තිබේ.
මේ දිනවල මැලේසියාවේ සංචාරය කරන බෙන්ජමින් හොල්ස්ට්ගෙන් මාධ්‍යවේදීන් පිරිසක් විමසා ඇත්තේ ප්‍රසිද්ධිය හේතුවෙන් ඉදිරියේදී හිඟාකෑම නතර කරනවාද කියාය. එයට පිළිතුරු ලෙස හොල්ස්ට් කියා ඇත්තේ තම කකුළ හේතුවෙන් වෙනත් රැකියාවක නිරත විය නොහැකි බැවින් ප්‍රසිද්ධ සංවිධාන හා පුද්ගලයන්ගෙන් දිගටම හිඟමනේ යෙදෙමින් කටයුතු කරන බවය.

රෝහණ බමුණුආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon