153 වැනි පොලිස් විරු සමරු දිනය අදයි

  👤  3560 readers have read this article !
By mawbima 2017-03-21

ශ්‍රී ලංකා පොලිසිය සිය 150 වැනි සැමරුම් උත්සවය පවත්වනු ලැබුවේ 2016 සැප්තැම්බර් මස 3දාය. එහෙත් මෙවර ශ්‍රී ලංකා පොලිසිය සමරනු ලබන්නේ 153 වැනි පොලිස් විරු සමරු දිනයයි.

සංවිධානාත්මකව පොලිස් සේවය ආරම්භ කිරීමට වසර දෙකකට පෙර එනම්, 1864 මාර්තු මස 21දා කන්ද උඩරටට ප්‍රවේශ වන මාවනැල්ල නගරයට ආසන්න උතුවන්කන්ද ප්‍රදේශයේ සරදියල් ඇතුළු දාමරිකයන් අත්අඩංගුවට ගැනීමට දියත් කළ ක්‍රියාන්විතයේදී සරදියල්ගේ සහචරයා වූ මම්මලේ මරික්කාල් සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් කොස්තාපල් සභාන් වීර වික්‍රමාන්විතව දිවි පිදුවේ අද වැනි දිනයකදීය.

1864 මාර්තු 21 වැනි දින සිදුවූ මෙම සිද්ධිය මුල් කරගෙන සෑම වසරකම මාර්තු මස 21දා පොලිස් විරු දිනය සමරනු ලබයි.

මෙවරද පොලිස් විරු සමරු දිනයේ ප්‍රධාන උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ ප්‍රධාන විරු ස්මාරකය අබියසදී පැවැත්වේ. 1864 මාර්තු 21දා පොලිස් කොස්තාපල් සභාන් වීර වික්‍රමාන්විත ලෙස දිවි පිදූ මාවනැල්ල නගරය අසල පිහිටි ස්මාරකය අබියස විශේෂ විරු සමරු උත්සවයක්ද 1990 ජුනි 11දා පොලිස් නිලධාරීන් 400ක් දිවි පිදූ අම්පාර රූපස්කුලම් ප්‍රදේශයේ ඉදිකර ඇති විරු ස්මාරකය අබියස විශේෂ විරු සමරු උත්සවයක්ද පැවැත්වේ.

යම් ජන කොටසකගේ සාමය, සුරක්ෂිතභාවය ආරක්ෂා කරනු පිණිස යමකුට කළ හැකි උතුම්ම ක්‍රියාව වන්නේ ඒ ශේ්‍රෂ්ඨ අරමුණ වෙනුවෙන් සිය ජීවිතය පූජා කිරීමයි. එවැනි උතුම් දිවි පිදුම් සිදු කළ සෑම අයකුම ඉතිහාසයට එක්ව ඇත්තේ විරුවන් සහ වීරවරියන් ලෙසය. අද දින අප සිහිපත් කරනු ලබන්නේ එලෙස දිවි පිදූ විරුවන් හා වීරවරියන්ගේ ඒ ශේ‍ර්ෂ්ඨ ක්‍රියාවයි.

මානව ශිෂ්ටාචාරයේ ආරම්භක අවධියේ පටන් මේ මොහොත දක්වා අවස්ථා රැසකදී මානව සමාජයේ ශිෂ්ටසම්පන්න භාවය, යහපැවැත්ම උදෙසා දිවි පිදූ විරුවන් සහ වීරවරියන් සැමදා ජනතාවගේ හදවත් තුළ ජීවත් වෙමින් ජනතාව වෙතින් පිදුම් ලැබීම සිදුවන බව අප පසක් කර ගත යුතු සත්‍යයකි.

තම මාතෘ භූමියේ ස්වෛරීත්වය, සුරක්ෂිත භාවය මෙන්ම මහජනතාවගේ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පොලිස් කොස්තාපල් සභාන්ගේ සිට අද දින දක්වා පොලිස් විරුවන් මෙන්ම වීරවරියන් 3111ක් සිය රුධිරයෙන් මෙම මාතෘ භූමිය දෝවනය කළ බව ලාංකේය මහජනතාව සැමදා කෘතවේදීව සිහිපත් කරනු ඇත. එසේ දිවි පිදූ පොලිස් විරුවන් අතර විහාර මහා දේවියගේ පරපුර නියෝජනය කරන විරවරියන් 15 දෙනකුද වේ.

1864 සිට 1971 දක්වා වූ වසර 107ක් තුළ පොලිස් විරුවන් 65 දෙනෙක් වීර වික්‍රමාන්විත ලෙස දිවි පුදා ඇති අතර 1971 අප්‍රේල් කැරැල්ලට මුහුණ දීමෙන් පොලිස් විරුවන් 38 දෙනෙක් දිවි පුදා ඇත්තේ ශ්‍රී ලාංකේය ජනතාවගේ පරමාධිපත්‍ය සුරැකීමේ අරමුණ පෙරදැරිවය. 1988-89 වර්ෂයන් තුළ දකුණේ ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පොලිස් විරුවන් මෙන්ම වීරවරියන්ද 357 දෙනෙක් ජීවිත පූජා කරන ලද්දේ භීෂණය තුරන් කිරීම සඳහාය.

1978 පෙබරවාරි මස 14දා කන්කසන්තුරේදී දිවි පිදූ පොලිස් කොස්තාපල් 3164 කරුණානිධි ද්‍රවිඩ ත්‍රස්තවාදී යුද්ධය හේතුවෙන් ජීවිතය පූජා කළ යුද, නාවික, ගගන, පොලිස් සාමාජිකයන් අතර පළමු වැන්නා ලෙස ඉතිහාසයට එක්වී ඇත. සමස්ත ද්‍රවිඩ ත්‍රස්තවාදී අරගලය තුළ පොලිස් විරුවන් සහ වීරවරියන් 2594 දෙනෙක් මාතෘ භූමියේ ස්වෛරීත්වය වෙනුවෙන් වීර වික්‍රමාන්විත ලෙස දිවි පුදා ඇති බව නිදහස අත්විඳින සියලු ලක්වැසියන් සිහිපත් කරන්නේ ගෞරවාභිමානයෙනි.

මෙරට ජනතාවගේ සාමය සහ සුරක්ෂිත භාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවි පිදූ පොලිස් විරුවන් 3111ට අමතරව පූර්ණ හා අර්ධ ආබාධිත තත්ත්වයට පත්වූ නිලධාරීන් මෙන්ම නිලධාරිනියන්ද 639 දෙනකු තම අනාගතය අපගේ මාතෘ භූමිය වෙනුවෙන් කැප කර සිටින බව අප අවබෝධ කර ගත යුතු කරුණකි.

දිවි පිදූ විරුවන් මෙන්ම ආබාධිත තත්ත්වයට පත්ව ඇති විරුවන් ඔවුන්ගේ හෙට දවස සහෝදර ජන කොටසකගේ අද දවස සුරක්ෂිත කිරීමේ මාහැඟි කාර්යයකට කැපකර ඇත්තේ කිසිදු පෞද්ගලික ලාභ ප්‍රයෝජන පතා නොවේ. එමෙන්ම දිවි පිදූ විරුවන්ගේ සහෘදයන් මෙන්ම ආබාධිත විරුවන් හා ඔවුන්ගේ සහෘදයන් සැමදා සිහිපත් කිරීම ඔවුන් ආදරයෙන් රැක බලා ගැනීමේ වගකීමද අප සැම ඉදිරියේ ඇති අභියෝගයකි.

ශ්‍රී ලංකා පොලිසිය, වසර 150 සිය විශිෂ්ටත්ව ගමන තුළ ශ්‍රී ලාංකේය ජනතාවගේ සාමය, සුරක්ෂිතභාවය සුරැකීමේ අභියෝගයට නොපැකිලිව, නොබියව මුහුණදී සිටී. ලක්වැසියන්ගේ සාමයට අභියෝග එල්ල වූ සෑම අවස්ථාවකදීම පෙරමුණ ගෙන ඇත්තේ පොලිස් විරුවන්ය. එය 1971දී වැල්ලවායෙන්ද 1978දී කන්කසන්තුරෙන්ද 1988දී කොළඹ ප්‍රදේශය මුල් කරගනිමින් සිදුවූ සිද්ධිවලින්ද පැහැදිලි වේ.

සියලු අභියෝග හමුවේ නොසැලෙන ඉන්ද්‍රඛීලයක් සේ සිටිමින් රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ හා ආබාධයට ලක්වූ පොලිස් විරුවනි, වීරවරියනි, හිරු නැඟෙන විටත් හිරු බැසයන විටත් සියලුම කෘතවේදී ශ්‍රී ලාංකිකයන් ඔබ සැම සිහිපත් කරන්නේ හද බැතියෙන්ය.

නියෝජ්‍ය පොලිස්පති
ප්‍රියන්ත ජයකොඩි
පොලිස් මාධ්‍ය ප්‍රකාශක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon