විදුලිබල මණ්ඩල රියැදුරන්ට සීමාරහිතව අතිකාල දීමනා

  👤  3543 readers have read this article !
By mawbima 2017-03-21

හර්ෂනී අර්සකුලරත්න

අසීමිත ලෙස අතිකාල දීමනා ලබමින් ලංකා විදුලිබල මණ්ඩලයේ රියැදුරන් රුපියල් 90,000කට එහා ගිය ආදායමක් මණ්ඩලය හරහා උපයා ගන්නා බවත් ඇතැම් රියැදුරන් රුපියල් 1,60,000ක පමණ ආදායමක් උපයන්නේ නව ගුවන් නියමුවකුටත් එහා ගිය වැටුපක් ලබමින් බවත් ලංවිම ඇතැම් වෘත්තීය සමිති චෝදනා නඟයි.
එසේම ලංවිම පහළම සේවකයන්ගේ අලුත්ම ඉල්ලීම වන්නේ තම මූලික වැටුප රුපියල් 57,000ක් බවට පත් කිරීම වන අතර එය 2015දී තමන්ට හිමිවිය යුතු වැටුප ලෙසින් ඔවුන් චෝදනා නඟන බවද වෘත්තීය සමිති ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ලංවිම පහළම සේවකයාගේ වැටුප එසේ වෙද්දී රියැදුරු සහ ආරක්ෂක නිලධාරීන්ගේ වැටුප් තල මීට වැටුප් තල තුනකටත් ඉහළින් පවතී.

අධික පැය ගණන් අතිකාල දීමනා සඳහා ලබාගන්නා ලංවිම රියැදුරන් පැයට රුපියල් 350ක් පමණ අතිකාල ලෙස ලබාගන්නා අතර ගමන් බටා සහ අනෙකුත් දීමනා ඇතුළුව ඉහත කී රුපියල් 90,000ක වැටුප ලබාගන්නා බවට වෘත්තීය සමිති පවසයි.

ලංවිමට අලුතෙන් පැමිණි රියැදුරකුට ලැබෙන වැටුප එය වන අතර ඇතැම් රියැදුරන් මීට එහා යන වැටුප් ලබන බවත් ඔවුහු පෙන්වා දෙති.

මහජනතාවගේ බදුවලින් යැපෙන ආයතනයක් ලෙස ලංවිම මෙවැනි අධික වැටුප් ගෙවීම පිළිබඳ වෘත්තීය සමිති අතර ඇත්තේ දැඩි විරෝධයකි.

2018 වැටුප වැඩි කර ගැනීමට ලංවිම පහළම සේවකයන් තවම අත ගසා නැතත් 30%කින් 2017දී මූලික වැටුප වැඩි කර ගැනීමට බලපෑම් සිදුකරමින් සිටින බවත් එසේ වුවහොත් 2018 වන විට ලංවිම පහළම සේවකයාගේ වැටුප 130,000ක් පමණ අගයකට පැමිණෙන බවත් එම වෘත්තීය සමිති පවසයි.

ලංවිම රියැදුරන්ගේ නවතම ඉල්ලීම ලෙස ඔවුන්ගේ මූලික වැටුප රුපියල් 85,000 දක්වා වැඩි කිරීම වන අතර එයත් 2015 වර්ෂයට අදාළ ඔවුන්ගේ මූලික වැටුප විය යුතු බව ඔවුහු පවසති. මේ වැටුප් වැඩිවීම වර්ෂ 2015 සිට සිදුකිරීමට ඔවුන් බල කරන අතර 2018 වන විට මෙය 30%කින් වැඩිවිය යුතු බවටද ඔවුන් බල කරන බව එම වෘත්තීය සමිති චෝදනා නඟති.

මොවුන්ගෙන් බහුතරයක් මණ්ඩලයේ වාහන අයථා ලෙස පරිහරණය කරන අතර පාසල්වලින් ළමුන් රැගෙන ඒම, පොළෙන් බඩු ගෙන ඒම, නිවෙස්වල වැඩකටයුතු කර ගැනීමට මෙන්ම සල්ලාලකම් කිරීමටද මණ්ඩලයේ වාහන අවභාවිත කරන බවද එම වෘත්තීය සමිති පවසයි.

එසේම ලංවිමට එන අති මහත් සේවක බහුතරය දේශපාලන පත්වීම් බව නොරහසක් බවත් ප්‍රධාන පක්ෂ දෙකේම පිරිස් ඒ අතරින් බහුල වන බවත් ඔවුහු පවසති. රැකියා පොරොන්දුව ඉටුවීම නිසා දේශපාලකයන්ගේ ඕනෑම කර්තව්‍යයක් ඉටු කරදීමට නැවෙන පිරිසක් ලෙසින් එම සේවකයන්ව හඳුන්වා දෙන අතර පෙර කී වෘත්තීය සමිති පවසන්නේ තව නොබෝ දිනකින්ම මේ පිරිස වැඩ නොකර පඩි ගන්නා තත්ත්වයට පත්විය හැකි බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon