ළමා මෙහෙකාර සේවය තුරන් කිරීමට ගත් පියවර යුරෝපා සංගමයේ ප්‍රසාදයට

  👤  3512 readers have read this article !
By mawbima 2017-03-21

ජේ.ටී. ද සිල්වා

ළමා මෙහෙකාර සේවය මෙරටින් තුරන් කිරීම සඳහා කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මෙන්ම කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර ගැන යුරෝපා සංගමයේ ප්‍රසාදය හිමිවෙයි. ශ්‍රී ලංකාවේ සේවය කරන යුරෝපා සංගම් තානාපති ටුන්-ලායි මාර්ග් මහතා ඉකුත්දා කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න හමුවී කළ විශේෂ සාකච්ඡාවකදී මෙසේ ප්‍රසාදය පළ වී ඇත. මෙරට ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන ශ්‍රම බළකායේ අයිතිවාසිකම් පිළිබඳ වගකිවයුතු ආයතනය වන කම්කරු දෙපාර්තමේන්තුව වැඩ කරන ජනතාවගේ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ කම්කරු ඇමැතිවරයා විසින් මෙහිදී තානාපතිවරයා දැනුවත් කර ඇත.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රඥප්තීන් සහ නිර්ණායකයන්ට අනුව මෙරට වැඩ කරන ජනතාවට හිමි සියලු වරප්‍රසාද ලබාදීමට රජය පියවර ගෙන ඇති බව ඇමැති සෙනෙවිරත්න මෙහිදී අවධාරණය කර ඇත.

විශේෂයෙන් ආයෝජන ප්‍රවර්ධන කලාපවල සේවය කරන සේවක සේවිකාවන්ගේ කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් තම අමාත්‍යාංශය කම්කරු දෙපාර්තමේන්තුව හරහා විශාල වැඩ කොටසක් සිදුකර ඇති බව ඇමැතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

ඇමැතිවරයා සඳහන් කළ කරුණු ඇතුළුව ශ්‍රී ලංකාවේ කම්කරු අයිතිය සුරක්ෂිත කිරීම සඳහා ගෙන ඇති සුවිශේෂී පියවර පිළිබඳව ජී.එස්.පී. බදු සහනය ලබාදීමේදී සැලකිලිමත් වන බව යුරෝපා සංගම් තානාපතිවරයා සඳහන් කර ඇත.

සෑම සේවක සේවිකාවකගේම වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කරමින් සෑම වැඩබිමක්ම යහපත් වැඩබිමක් බවට පත් කිරීමට කම්කරු අමාත්‍යාංශය හැම විටම ගත හැකි සියලු උත්සාහයන් ගැනීමට පසුබට නොවන බව මෙම හමුවේදී ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න යුරෝපා සංගම් තානාපතිවරයාට පෙන්වා දී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon