නැඟෙනහිර සරසවි සිසුහු කුපිත වෙති

  👤  3796 readers have read this article !
By mawbima 2017-03-21

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ

නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපයේ සිසුන් පිරිසක් ඊයේ (20දා) පැවැති විභාගය වර්ජනය කළ අතර විභාගයට පෙනී සිටි සිසුන්ට විරෝධය පා ඔවුන්ට පහරදී ප්‍රශ්න පත්‍ර ඉරා දමා විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ටයර් පුලුස්සනු ලැබීය.

විභාග ශාලාවට කඩා වැදුණු සිසුන් පිරිසක් ඩෙස් පුටු පෙරළා දමා ප්‍රශ්න පත්‍ර ඉරා දමා සිසුන්ට පහරදීම හේතුවෙන් විභාගය අවලංගු කිරීමට විශ්වවිද්‍යාල බලධාරීහු පියවර ගත්හ. විශ්වවිද්‍යාල සිසුන් 16 දෙනකුට එම විශ්වවිද්‍යාල භූමිය තහනම් කිරීමට එරෙහිව සෙසු සිසුහු මෙසේ විභාගය වර්ජනය කරනු ලැබ තිබිණි. ඒ අතර ගියවර විභාගය අසමත් සිසුන් පිරිසක් මෙවර විභාගයට පෙනී සිටීම නිසා ඒ අවස්ථාවේ විභාග ශාලාවට පැන මේ කලබලය සිදු කරනු ලැබ තිබිණි. ත්‍රිකුණාමලය නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතාගේ උපදෙස් මත එම ස්ථානයට ගිය කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ජගත් චන්ද්‍ර කුමාර මහතා විශ්වවිද්‍යාල බලධාරීන් හා සිසුන් සමඟ සාකච්ඡා කර සිද්ධිය සමථයකට පත් කළ අතර පැවැති විභාගය අවලංගු කරනු ලැබ තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon