විමල්ට මේ පාරත් ඇප නෑ

  👤  3467 readers have read this article !
By mawbima 2017-03-21

අමිල අබේරත්න

නිවාස සංවර්ධන සහ ඉන්ජිනේරු සේවා පිළිබඳ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා ලබන අප්‍රේල් 3 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (20දා) නියෝග කළාය.

එලෙස නියෝග කරනු ලැබුවේ නිවාස සංවර්ධන සහ ඉන්ජිනේරු සේවා අමාත්‍යවරයාව සිටියදී රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවට කුලී පදනම මත ලබාගත් වාහන 40ක් අවභාවිත කිරීමෙන් රජයට රුපියල් නවකෝටි දහසය ලක්ෂ තිස්පන් දහසකට අධික මුදලක් පාඩු කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පවරා ඇති නඩුව යළි කැඳවූ අවස්ථාවේදීය.

එම සිද්ධියේ පළමුවැනි සැකකරුවා වන විමල් වීරවංශ මහතා අධිකරණයේ නියමය පරිදි මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කොට ඇති අතර සිද්ධියේ දෙවැනි සැකකරු වන ඉන්ජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සමන්ත ලොකු හැන්නදිගේ මහතා මේ වන විට ඇප ලබා සිටියි.

පසුගිය නඩු වාරයේදී විමල් වීරවංශ මහතා ස්වේච්ඡාවෙන් ප්‍රකාශයක් කරමින් ඇප ඉල්ලීමක් සිදු කළ අතර කොටුව මහෙස්ත්‍රාත්වරිය එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් විමල් වීරවංශ මහතාව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගය ඊයේ (20දා) ලබාදෙනු ලැබූ අතර ඇප දීමට තරම් සුවිශේෂී වූ කරුණු ඉදිරිපත් වී නොමැති බව කොටුව මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටියාය.

විමල් වීරවංශ මහතා පසුගිය නඩු දිනයේදී සිදුකළ ස්වේච්ඡා ප්‍රකාශයක් මඟින් ඉල්ලා සිටියේ සැකකරුවකු වන තමන්ව සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වීමට හෝ භාරවීමට පෙර සහකාර පොලිස් අධිකාරිවරයකුගේ සහතිකයක් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට තැබීම නීතියට පටහැනි බවත් තමන් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාදී ජනතාව පත්කළත් ව්‍යවස්ථාදායකයේ නියෝජිතයෙක් වන නිසා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබීමෙන් තමන් විසින් ජනතාවට කළ යුතු සේවය සිදු කිරීමට ඉඩක් නොලැබෙන බවත් ඒ පිළිබඳ සලකා ඇප ලබා දෙන ලෙසත්ය.

අත්අඩංගුවට ගෙන ඇති සිද්ධිය රජයේ වාහන ගණනාවක් අවභාවිත කිරීම සම්බන්ධ සංකීර්ණ සිද්ධි මාලාවක් වන නිසාත් එම සිද්ධිය මඟින් රජයට සිදුව ඇති පාඩුව සලකා බලා සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ භාරවීමට පෙර අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි නොවන බවය.
කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගෙන ව්‍යවස්ථාදායකයේ නියෝජිතයකු වශයෙන් පත්වී රක්ෂිත බන්ධනාගාරගතව සිටීම මඟින් ජනතාවට සේවයක් කිරීමට ඉඩ අහිමි වීම සුවිශේෂී කෝණයකින් බැලිය නොහැකි බවත් එය සාමාන්‍ය පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින විට ඔහුගේ දෛනික කටයුතු මඟ හැරීයෑමට සමාන දෙයක් බවද කොටුව මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටියාය.

එම හේතුව නිසා එය ඇප ලබාදීමට සලකා බැලිය යුතු සුවිශේෂී කරුණක් නොවන බවද මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටි අතර නීතියේ සඳහන් වන්නේ යම් අපරාධයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අවසන් වන තෙක් සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරගත කොට තැබීම බවද දන්වා සිටියාය.

සුවිශේෂී කරුණක් හැරුණු විට ඇප ලබාදීම නීතියේ සඳහන් නොවන බවද කොටුව මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටියාය.

කොටුව මහෙස්ත්‍රාත්වරිය විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් විමසා සිටි අතර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ දන්වා සිටියේ විමල් වීරවංශ මහතා පිළිබඳ සිදුකරන විමර්ශන මේ වන විට අවසන් අදියරේ තිබෙන බවද විමර්ශන අවසන් කර උද්ධෘත ගොනු සකස් කර නීතිපතිවරයාට යැවීම සඳහා මසක පමණ කාලයක් අවශ්‍ය වන බවය.

උද්ධෘත ගොනු සකස් කර කඩිනමින් නීතිපතිවරයාට යවන ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළාය.
විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් උද්ධෘත ගොනු සකස් කර නීතිපතිවරයාට යැවීම සිතාමතාම ප්‍රමාද කර ඇති බවය.

නඩුව ලබන අප්‍රේල් 3 වැනිදා යළි කැඳවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්