සමේ රෝගයකින් දෙනෙත් අහිමි වූ මේ තරුණයාට කරන කියන ප්‍රතිකාරවලින් කිසිම ගුණයක් නෑ

  👤  3486 readers have read this article !
By mawbima 2017-03-21

දෙවනගල - ජනනාත් වික්‍රමසිංහ

අරණායක මැතිවරණ කොට්ඨාසයේ දීවෙල උඩගම හෑදෙණියවත්ත පදිංචි ආර්. සමන් කුමාර ගුණරත්න තරුණයා දෙස මුළු ලෝකයාම බැලුවත් ඔහුට ලෝකය දකින්නට තිබුණු හැකියාව බොඳ වී ගොසිනි. දැන් වයස අවුරුදු 27ක් වන ඔහු අවුරුදු දහයක පමණ කාලයක් තිස්සේ දෑස් නොපෙනී කාලය ගෙවා දමමින් සිටී. වයස අවුරුදු දෙකේදී පමණ වැලඳී ඇති හමේ රෝගයක් නිසා ක්‍රමයෙන් පෙනීම අඩු වීමේ ස්වභාවයක් ඇති වී ඇත. බටහිර වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම ආයුර්වේද ප්‍රතිකාරද ලබා ගෙන ඇති නමුත් ඔහුගේ හමේ රෝගය හෝ අක්ෂි රෝගය සුව කිරීමට හැකි වී නොමැත.

සමන් කුමාරගේ පියා වන ආර්. ගුණරත්න කුලී වැඩ කර සිය පවුල නඩත්තු කරයි. මව ජේ. අයිරාංගනීද නිවෙසට වී බීඩි ඔතමින් ජීවන අරගලය ජය ගැනීමට සිය සැමියාට සහාය වෙමින් සිටී. මේ අතර තුර කෙසේ හෝ සිය පුතුගේ හමේ රෝගය සහ අක්ෂි රෝගය සුව කර ගැනීමේ අටියෙන් යුතුව නොයෙක් තැන්වලට යමින් බේත්හේත් කිරීමට වෙහෙසෙමින් සිටී. බලාපොරොත්තු අත්නොහැර සිටියත් ඒ සඳහා වෙහෙස වී ක්‍රියා කළත් පවත්නා ආර්ථික දුෂ්කරතා හමුවේ සිය පුතුගේ දෙනෙත් බොඳ වී ගියාක් මෙන් තමන්ගේ සිහිනයද බොඳ වී යාවි දැයි සැකයෙන් අයිරාංගනී සැලෙන්නීය.

සමන් කුමාර අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් විෂයයන් අටයි සම්මාන හතරක් ලබා ගෙන ඇත. කුඩා කල සිටම හටගත් සමේ රෝගය හා ඒ නිසාම ඇති වූ පෙනීමේ දුර්වලතාව තිබුණද හෙතෙම පාසල් අධ්‍යාපනය කරගෙන ගිය බව පවසයි. මෙකල දුර නොපෙනුණ ද ළඟ පෙනීමේ හැකියාව තරමක් දුරට තිබුණු බැවින් අධ්‍යාපන කටයුතු බාධාවන් මධ්‍යයේ වුවද කරගෙන ගොස් ඇත. වයස අවුරුදු 17දී පමණ පෙනීම සම්පූර්ණයෙන්ම දුර්වල වී ඇත.

සිය පාසල් අවධිය පිළිබඳව අදහස් දැක්වූ සමන් කුමාර මහතා, ඒ කාලේ දීත් මට අෑත පෙනුණේ නැහැ. නමුත් හතර පහ වැනි පන්තිවල ඉන්නකොටත් මම ළඟට වෙලා කළුලෑල්ල බලාගෙන ලිව්වා. නමුත් ඊට පස්සේ ඒකක් බැරි වුණා. ළමයි තමයි උදවු කළේ. යාළුවන් තමයි හැම තැනටම එක්ක ගියේ. අව්ව සැර වදිනකොට කඳුළු එනවා. ඒක දන්න නිසා යහළුවෝ මට නිතරම උදවු කළා. ඇස්වලට ඉස්කෝලෙදී බෙහෙත් දාන්නෙත් යාළුවන් තමයි. ඒ කාලෙ නුවරින් සහ කෑගල්ලෙන් බෙහෙත් ගත්තා. ඊට පස්සේ 11 සහ 12 වසරවල දී සිංහල බෙහෙත් ගත්තා කෑගල්ලෙන්. ඒ කාලෙත් යාළුවන් තමයි ගිහිල්ලා නොම්මර අරගෙන මට බෙහෙත් ගන්නත් ඒවා කර ගන්නත් උදවු කළේ. හමේ රෝගයටත් ඇස්වලටත් ඒ කාලෙත් බෙහෙත් ගත්තා. කසාය එහෙම ගත්තා. අවුරුදු 17දී පමණ කෑගල්ලේ සයන්ස් සෙන්ටර් එකට පන්ති ගියෙත් තනියම.'

සමන් කුමාරගේ මව කඳුළු සලමින් පවසා සිටියේ තම එකම අභිප්‍රාය දරුවාගේ නෙත් දෙක සනීප කරගැනීම බවයි. 'දැනට මාස කිහිපයක සිට ආනමඩුවටත් එහා ගමකින් බෙහෙත් ගන්නවා. ඒ වෙද මහත්තයා කිව්වා හොඳ කරලා දෙන්නම් කියලා. දැන් අපි පස් වතාවක් විතර එහේට ගිහින් බෙහෙත් ගෙනාවා. දැන් යම්තම් ඇස් අරින්න පුළුවන්. ඉස්සර ඇස්වල කඳුළුවත් ආවේ නැහැ. නමුත් මේ බෙහෙත් ගත්තට පස්සේ කඳුළු එනවා. ඡායාව වගේ යාන්තමට පේනවා කියනවා. පාට වර්ග ටිකක් පේනවා කියනවා. නමුත් මට තියෙන ප්‍රශ්නය මම රෑත් එක්ක නිදිවරාගෙන බීඩි ඔතලා මහන්සි වුණත් සති දෙකට වරක් බෙහෙත් ගන්න යන්න රුපියල් 6,000ක් විතර යනවා. හමේ රෝග සායනයට කෑගල්ලට යන්නත් රුපියල් 600ක් විතර වියදම් වෙනවා. අපි කුලී කරලා හොයා ගන්න මුදල කන්න බොන්න ගියාම බෙහෙත් ගන්න යන්න විදියක් නැහැ. මේ දරුවා වෙනුවෙන් පින් පඩියක් හම්බවෙනවා. ඉතා සුළු මුදලක්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඇවිත් බලලා ගියා. ආධාරයක් හදලා දෙන්නම් කියලා නම් කිව්වා. ඒත් බෙහෙත් ගන්න යන්න සෑහෙන මුදලක් ලැබෙයි කියලා හිතන්න ආමරුයි. යැයි පැවැසුවාය.

සමන් කුමාර ගේ දෙනෙත් සහ සමේ රෝගය සුව කර ගැනීම සඳහා උපකාර කළ හැකි අයකු වෙතොත් දුරකතන අංක 0771131826 ට ඇමැතීමෙන් ඒ මහතා සම්බන්ධ කර ගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්