පොදු දේපළ පනත හා දේශපාලන දඩයම

  👤  3628 readers have read this article !
By mawbima 2017-03-21

පොදු දේපළ පනත සම්බන්ධයෙන් ශ්‍රී ලාංකේය සමාජය තුළ කතිකාවතක් පෙර නොවූ විරූ ආකාරයට පසුගිය අවුරුදු දෙක තුළදී ඇති වී තිබෙන බව අප කාටත් නොරහසකි. වර්ෂ දෙදහස් පහළොවේදී ඇතිවූ බල පෙරළියත් සමඟින් රට තුළ බහුලව භාවිත වූ වචන අතර යහපාලනය, මුදල් විශුද්ධිකරණ පනත, පොදු දේපළ පනතට අදාළ වැරැදි, සහකාර පොලිස් අධිකාරිවරයකුගේ සහතිකය, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (ජ්ඛ්ධ්ච්) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මහා පරිමාණ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් සභාව යනාදී වශයෙන් වචන වෙනදාටත් වඩා සමාජ ගත වී ඇත.

වසර 150ක ඉතිහාසයක් ඇති පොලිස් දෙපාර්තමේන්තුව, එනම් ත්‍රස්තවාදය වැළැක්වීම උදෙසා විශාල කාර්යභාරයක් ඉටුකරන ලද එම ආයතනය තවදුරටත් අපරාධකරුවන් කෙරෙහි විමර්ශනය කිරීම උදෙසා ඇති නොහැකියාව නිසා හෝ දේශපාලනික වශයෙන් විරුද්ධ මත දරන දේශපාලනඥයන් හෝ කණ්ඩායම් මර්දනය කිරීම සඳහා හෝ යහපාලන ආණ්ඩුව බිහිවීමෙන් අනතුරුව වෙනමම පොලිස් ඒකකයක් වශයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටුවන ලදී. එය පිහිටුවීම පොලිස් ආඥා පනතේ 55 වැනි වගන්තිය යටතේ සිදු කරනු ලබන අතර එය සම්පූර්ණයෙන්ම පවතින නීතියට පරිබාහිරව සිදු කර ඇත. රටේ පොලිස් කොට්ඨාසයක් බිහි කිරීමේ හැකියාව ඇත්තේ රටේ ආරක්ෂක අමාත්‍යවරයාටය. එනම් රටේ ජනාධිපතිවරයාටය. පොලිස්පතිවරයා සිය අස්සනින් යුතුව පොලිස් ආඥා පනතේ 55 වැනි වගන්තිය උපයෝගී කරගෙන නීති විරෝධී පොලිස් කොට්ඨාසයක් බිහි කර ඇත. 55 වැනි වගන්තියෙන් දක්වා ඇත්තේ පොලිස් නිල නිවාස වර්ගීකරණය කිරීමට හා විනය කඩ කරන පොලිස් නිලධාරියකුට රුපියල් 50ක දඩ මුදලක් නියම කිරීමට පමණකි. මේ ආකාරයට එනම් නීත්‍යනුකූල නොවන ආකාරයට බිහි කර ඇති මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද වන විට දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා ඇති කරන ලද මර්දන යාන්ත්‍රණයක් බව ප්‍රත්‍යක්ෂ වී හමාරය.
මේ පොලිස් ඒකකය හා එක්ව දේශපාලන දඩයම සිදු කිරීම සඳහා පෙර නොවූ විරූ ආකාරයට පොදු දේපළ විෂයෙහිලා සිදුකරනු ලබන වැරැදි පිළිබඳ පනත යොදා ගන්නා ලදී.

පොදු දේපළ විෂයෙහිලා සිදුකරනු ලබන වැරැදි පිළිබඳ පනත මූලිකවම අප රටේ නීති පද්ධතියට එක් වන්නේ වර්ෂ 1982 මාර්තුවේදීය. එය නමින් පොදු දේපළ විෂයෙහිලා සිදු කරනු ලබන වැරැදි පිළිබඳ පනත වශයෙන් දක්වන ලද අතර එය 1982 අංක 2 වැනි පනත වශයෙන් අංකනය විය.

වර්ෂ 1988 දෙසැම්බර් මාසයේ නැවත වරක් පොදු දේපළ විෂයෙහිලා සිදු කරනු ලබන වැරැදි පිළිබඳ සංශෝධන පනත වශයෙන් 1988 අංක 76 දරන පනතින් සංශෝධනය වූ අතර, මෙම පනත් මඟින් මුල් පනතේ 5(2) වගන්තියට අමතරව තවත් 5 (3) වගන්තියක් හඳුන්වා දෙනු ලැබීය.

අවසන් වරට පොදු දේපළ විෂයෙහිලා සිදු කරනු ලබන වැරැදි පිළිබඳ (සංශෝධන) පනත වශයෙන් සංශෝධනය වූයේ වර්ෂ 1999 සැප්තැම්බර් මාසයේ වූ අතර එය 1999 හි අංක 28 දරන පනත විය. මෙම පනතෙහි සංශෝධනය මඟින් මුල් පනතේ 8 වැනි වගන්තියේ රුපියල් 5,000ක් යන ප්‍රමාණය ඉවත් කොට රුපියල් 25,000ක් ඉක්මවා යන වචනය ආදේශ කිරීමෙන් එම වගන්තිය සංශෝධනය කරනු ලැබීය.

මූලිකවම මෙම පනත ගෙන ඒමේ අභිලාෂය වූයේ එල්ටීටීඊ සාමාජිකයන් විසින් සිදු කරනු ලබන ප්‍රචණ්ඩත්වය වැළැක්වීමය.

මේ පනත දේශපාලනඥයන් මර්දනය කිරීම උදෙසා යොදා ගත්තද මේ පනත මූලිකවම නීති පද්ධතියට ගෙන ඒමේ මූලික අරමුණ වූයේ එල්ටීටීඊ ක්‍රියාකාරීන් විසින් උතුරේ සිදුකරන ලද අපරාධවලට යම් ආකාරයේ බලපෑමක් ඇති කිරීම සඳහාය. එකල එල්ටීටීඊය විසින් බැංකු කොල්ලකෑම් සිදු කරන ලදී. දේපළ සොරකම් කිරීම්, මංකොල්ලකෑම් සිදු කරනු ලැබීය. එවැනි අපරාධ අවම කිරීම උදෙසා හා නීතිය තදින් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පනත හඳුන්වා දෙන ලදී. බැංකු වශයෙන් දැක්වූ විට සෑම බැංකුවක්ම පොදු දේපළක් නොවුවද පෞද්ගලික බැංකුවක් වුවත් අමාත්‍යවරයා විසින් සිදුකරන සැලකිරීමකදී මෙම පනත යටතට වැටෙන ආකාරයට දැක්වීමේ හැකියාව ඊට තිබිණි. මීට අමතරව විශේෂයෙන්ම සමුපකාරවලට අදාළ දේපළද පොදු දේපළ පනත යටතට ග්‍රහණය කරන ලදී.

මේ පනතේ මුඛ්‍ය අරමුණ වූයේ එලෙස ත්‍රස්තවාදීන් විසින් සිදුකරන ලද අපරාධ රැල්ලට යම් ආකාරයේ බලපෑමක් කරමින් ඇප නියම කිරීමේදී අධිකරණය සතු අභිමතානුසාරී බලයට යම් ආකාරයක සීමාවක් එක් කරමින් වඩාත් දෘඪ නීතියක් මඟින් නැඟ එන ත්‍රස්තවාදය මැඬලීමය. එහෙත් අද මෙම පොදු දේපළ විෂයෙහිලා සිදු කරනු ලබන වැරැදි පිළිබඳ පනත යොදා ගන්නේ වෙනත් දේශපාලන වුවමනාවන්ටය.

යහපාලන ආණ්ඩුවේ විරුද්ධ මත දරන්නන්, ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන දේශපාලනඥයන්, මර්දනය කිරීමට පිහිටු වූ මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ මර්දන යාන්ත්‍රණය යථා පරිදි දියත් කිරීම උදෙසා පොදු දේපළ විෂයෙහිලා කරනු ලබන වැරැදි සම්බන්ධ පනත ඉන්ධන වශයෙන් යොදා ගන්නා බව කිවහොත් වඩාත් නිවැරැදිය. යහපාලන ආණ්ඩුව මර්දනය සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටුවා ගන්නා ලද අතර එයින් විමර්ශන වන්නා වූ 98%ක්ම විමර්ශනය වන්නේ පවතින ආණ්ඩුවට විරුද්ධ දේශපාලන මත දරන, පවතින ආණ්ඩුව විවේචනය කරන දේශපාලනඥයන් දඩයම් කිරීම උදෙසාය. තම දේශපාලන කඳවුරේ සිටින කිසිවකුට මෙම දුක් ගැහැට හමුවේ ප්‍රශ්නවලට මුහුණ දීමට යහපාලන ආණ්ඩුව කටයුතු සම්පාදනය නොකරයි. මෙලෙස දේශපාලනික වශයෙන් පක්ෂග්‍රාහී ලෙස පොලිසිය ප්‍රමුඛ අදාළ විමර්ශන ආයතන කටයුතු කරගෙන යද්දී සාමාන්‍ය ක්‍රමයට ඇප ලබාගැනීමේ හැකියාව තිබෙන්නා වූ වරදවල් සම්බන්ධයෙන්ද පොලිසිය තම 'බී' වාර්තාවේ සඳහන් කළද පදනම් විරහිතව මෙම වරද පොදු දේපළ විෂයේ සිදුකරන වරදක්ද අඩංගු බව ප්‍රකාශ කිරීමෙන් හා එම පනතේ 8 වැනි වගන්තිය ප්‍රකාරව සහකාර පොලිස් අධිකාරිවරයකුට නොඅඩු නිලයකින් හෙබි පොලිස් නිලධාරිවරයකු විසින් සහතිකයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාගැනීමේ හැකියාව අහුරුවාලයි.

පසුගිය වසර දෙක තුළදී යහපාලන ආණ්ඩුව විසින් දේශපාලනඥයන් මර්දනය කිරීම් උදෙසා වඩාත් සුලබව යොදා ගත්තේ පොදු දේපළ විෂයෙහිලා සිදුකරනු ලබන වරදවල් සම්බන්ධ පනතයි. පොදු දේපළ පනත් විෂයෙහිලා කරනු ලබන වැරැදි සම්බන්ධයෙන් මුල්ම දේශපාලන දඩයම ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම දැක්විය හැකිය. පොදු දේපළ පනතේ 8 වැනි වගන්තිය ප්‍රකාරව කරුණු වාර්තා කිරීම හේතුවෙන් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාගැනීමට නොහැකි වූ හෙයින් දීර්ඝ කාලයක් බන්ධනාගාරගත වීමෙන් අනතුරුව මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමට සිදුවිය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් මූලිකව බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාට විරුද්ධව නඩු 3ක් කඩුවෙල මහෙස්ත්‍රාත් උසාවියෙහි ගොනු කළේය. ලිත් මුද්‍රණය කිරීම, සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම උදෙසා සමෘද්ධි බැංකු මුදල් යොදා ගැනීම, සමෘද්ධි අර්ථලාභීන්ට තම නිවාස අලුත්වැඩියා කිරීම උදෙසා රු. 2,500ක් ලබාදීම යන නඩු නිමිති හේතු කොටගෙන පොදු දේපළ විෂයෙහිලා සිදුකරනු ලබන වරදවල් සම්බන්ධ පනත උපයෝගී කරගනිමින් බැසිල් රාජපක්ෂ මහතාට මහාධිකරණයෙන් ඇප ලැබෙනතුරු බන්ධනාගාර ගත කරන ලදී. දෙවැනි දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥ ගරු අධිකරණය වෙත පැමිණ විනිසුරුතුමාහට පැවසුවේ මෙම අදාළ කිසිදු මුදලක් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු අනෙකුත් සැකකරුවන්ගේ පෞද්ගලික පරිහරණයට යොදාගත් බවට කිසිදු සාක්ෂියක් විමර්ශනයේදී අනාවරණය නොවන බවයි. එහෙත් එසේ ප්‍රකාශ කළද ඔවුනට ඇප ලබාගත හැකි වූයේ දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතවීමෙන් පසුව මහාධිකරණයෙන්ය.

යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු අනෙකුත් සැකකරුවන් සම්බන්ධයෙන්ද පොදු දේපළ විෂයෙහිලා සිදුකරනු ලබන වරදවල් සම්බන්ධ පනත යොදා ගැනුණු අතර එහිදී ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 2ක් සී.එස්.එන්. ආයතනය සඳහා යොදා ගත් බව දක්වා තිබිණි. එම අවස්ථාවේදී සහකාර පොලිස් අධිකාරිවරයාගේ සහතිකය ඉදිරිපත් කර තිබුණද එය සහතිකයක් නොවන වාර්තාවක් එක් කිරීම තුළින් මහාධිකරණයේදී එය නියමාකාරයෙන් ඉදිරිපත් කරන ලද සහතිකයක් නොවන බව තීරණය කරමින් ඇප ලබාදීමට මහෙස්ත්‍රාත් අධිකරණයට නියම කළද ඔවුන්ටද දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතවීමට සිදුවිය. මේ ආකාරයෙන් මෙම පොදු දේපළ විෂයෙහිලා සිදු කරනු ලබන වරදවල් සම්බන්ධ පනත යොදා ගනිමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කරුණා අම්මාන්, පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් කුමාර ගුණරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර, ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් යන මහත්වරු මහාධිකරණයෙන් ඇප ලබා ගන්නාතුරු දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටියහ. මෙම දේශපාලනඥයන් මර්දනය කිරීම සඳහා කෝකටත් තෛලය වශයෙන් භාවිත කරන ලද්දේ පොදු දේපළ විෂයෙහිලා ගුණෙන වැරැදි පිළිබඳ පනතයි.

ජන සටන පාද යාත්‍රාව වරකාපොළ ප්‍රදේශය පසුකරන අවස්ථාවේදී හිටපු අමාත්‍ය ධර්මසිරි සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සඳහා ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා කටයුතු කළ අතර එම ගුවන් සමාගමෙහි වාහන 3ක් යොදා ගැනීමට පොදු දේපළ විෂයෙහිලා සිදු කරනු ලබන වැරැදි පිළිබඳ පනතෙහිලා ගැනෙන වැරැදි වශයෙන් එම පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලදී.

විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම පැහැදිලිවම දේශපාලන දඩයමකි. ඒ පිළිබඳ අමුතුවෙන් අටුවාටීකා ලියන්නට අවශ්‍ය නැත. මේ නඩුවේ තවත් සැකකරුවන් සිටිනා බැවින් ඒ අය හෙළිදරව් වේය යන කරුණ මත මෙම නඩුකරය නීතිපතිතුමා වෙත යොමු කිරීම පසෙක ලා තමන්ගේ සිතැඟි පරිදි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව තීරණය කළ හැකි අතර එම අයට ඇප ලබාගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් කරනු වස් නොයෙකුත් චෝදනා හඳුන්වා දෙමින් සිටී. මෙම නඩුව නීතිපතිවරයාට යොමු කරන ලද්දේ නම් ඉතාමත් පැහැදිලිව එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ මන්ත්‍රිවරයා සැකකරුවකු විය යුතු අතර ලසන්ත අලගියවන්න හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාද මෙම වරදවල් සම්බන්ධයෙන් සෘජුව අත්අඩංගුවට ගැනීම සිදු කළ යුතුය. ලසන්ත අලගියවන්න හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් වාහන මහර ශාඛාවට යොමුකළ බවත්, නියමිත ටෙන්ඩර් පටිපාටියකින් පරිබාහිරව ලබාගත් බවත් සාක්ෂි 'බී' වාර්තාවේ සඳහන්ව තිබියදී පොලිසිය ඔවුන් සම්බන්ධයෙන් නිද්‍රාශීලීව කටයුතු කරනු ලැබේ.

මේ ආකාරයට යහපාලන ආණ්ඩුව පොදු දේපළ විෂයෙහිලා වැරැදි පිළිබඳ පනත යොදා ගනිමින් ආණ්ඩුවට විරුද්ධව විවිධ මත දරන පුද්ගලයන් මර්දනය කරමින් සිටී. මෙම දේශපාලනික සිරගත කිරීම් හමුවේ සිරගත වූ කිසිම දේශපාලනඥයකු එයට බියෙන් යහපාලන ආණ්ඩුවට කත් අදින්නට එකතු වූයේ නැත. තමන් සිටින දේශපාලන ස්ථාවරයෙන් මඳකුදු වෙනස් නොවීය. මෙම දුක්කම්කටොලු යහපාලනික වශයෙන් තමන්ට ලැබුණු දේශපාලනික පන්නරයක් ලෙසද ආශීර්වාදයක් ලෙසද සලකන ආකාරය දක්නට ඇත. ඔවුන් තව තවත් මෙම අසාධාරණ මර්දන යාන්ත්‍රණයට එරෙහිව සටන් වදිනු ඇත. තම දිවි හිමියෙන් මෙම අසාධාරණ මර්දන යාන්ත්‍රණය පරාජය කරන්නට කටයුතු කරනු ඇත. මෙම ප්‍රයත්නය අතරතුරදී යහපාලන ආණ්ඩුව සිතන්නේ විරුද්ධ දේශපාලනඥයන් බන්ධනාගාරගත කරන ස්වරූපයෙහි ඇති දේශපාලනික ස්වභාවය තේරුම් ගැනීමට නොහැකි අන්ධ අවිඥාන රටවැසියන් ජීවත් වන රටක් ලෙසයි.

මර්දනය කර දේශපාලනිකව දඩයම් කර දේශපාලන මතවාද වළලන්නට නොහැකි බව ඓතිහාසික දේශපාලන සංසිද්ධි හමුවේ තේරුම් ගැනීමට තරම් මෙම යහපාලන ආණ්ඩුව සවිඥාන නොවීම ගැන අප පුදුමයට පත් විය යුතුය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon