ජීවිත 14ක් අහිමිකළාට බස් රියැදුරා වසර 37ක් ඇතුළට

  👤  3595 readers have read this article !
By mawbima 2017-03-21

පොතුහැර _ එම්.ජේ. මොහොමඩ්
මගීන් දාහතර දෙනකුට මරු කැඳවමින් තවත් 19 දෙනකුට අධික ප්‍රමාණයකට බරපතළ තුවාල සිදුකරමින් කුරුණෑගල, ඉබ්බාගමුව, මඩගල්ල මාර්ගයේ දීයාව අසලදී සිදුකරන ලද මාරක බස් රිය අනතුර සම්බන්ධ නඩුවෙහි තීන්දුව ප්‍රකාශයට පත්කළ කුරුණෑගල මහාධිකරණ විනිශ්චයකාර මේනකා විජේසුන්දර මහත්මිය නඩුවේ චූදිත බස් රියැදුරුට වසර තිස්හතහමාරක බරපතළ සිර දඬුවමක් ඊයේ (20දා) නියම කළාය.

මේ තීන්දුව යටතේ මිනිස් ජීවිත දාහතරක් මරණයට පත්කිරීම වෙනුවෙන් වසර විසිඅටක සිර දඬුවම්ද 19 දෙනකුට බරපතළ තුවාල සිදුකිරීම යටතේ වසර නවයහමාරක සිර දඬුවම්ද නියම කරමින් වසර තිස්හත හමාරක සිර දඬුවමකට විත්තිකරු යටත් කරනු ලැබීය.

වර්ෂ 2003 ජූලි මස හතරවැනි දින කුරුණෑගල උතුරු ඩිපෝවට අයත් ශ්‍රී ලංගම බස් රථයක් මගීන් පුරවාගෙන මඩගල්ල සිට ඉබ්බාගමුව හරහා කුරුණෑගල දක්වා ධාවනය වීමේදී දීයාව අසලදී මාර්ගයෙන් පිටතට පැන මී ගසක හැපීමෙන් එහි ගමන්ගත් මගීන් එකොළොස් දෙනකු එම අවස්ථාවේදීම මියගිය අතර පසුව එම මරණ සංඛ්‍යාව විසි එක දක්වා වැඩිවිය. මගීන් හතළිහක අධික ප්‍රමාණයකට බරපතළ තුවාල සිදුවිය. එහෙත් අධිකරණ වාර්තාවේ සඳහන් වන්නේ 14 දෙනකු මියගිය බවත් 19 දෙනකු බරපතළ තුවාල ලැබූ බවත්ය.

අපරික්ෂාකාරී ලෙස බස් රථය පදවමින් සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සම්බන්ධයෙන් රජයේ නීතිපතිවරයා විසින් බස් රථයේ රියැදුරකු වූ හේරත් මුදියන්සේලාගේ ප්‍රේමරත්න නමැත්තාට එරෙහිව මෙහිදී මහාධිකරණයෙහි නඩු පවරා තිබිණි.

වසර දහයක පමණ කාලයක් තිස්සේ මහාධිකරණ විනිසුරුවරුන් හත් දෙනකු ඉදිරියේ මේ නඩුව විභාග විය. එහිදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් අසූ පස්දෙනකු නම්කර තිබූ අතර එහිදී හැත්තෑ හතර දෙනකු පමණ සාක්ෂි ලබාදීම සිදුකෙරිණි.

මහාධිකරණයේ සාක්ෂි දුන් සාක්ෂිකරුවන් අතර ප්‍රාදේශීය මාධ්‍යවේදියකුද විය. මෙය කුරුණෑගල මහාධිකරණයේදී මෙතෙක් ලබාදුන් දීර්ඝතම නඩු තීන්දුව වශයෙන්ද සැලකෙයි.

රජයේ නීතිඥ ළහිරු ජයමාන්න මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ රවි ජයවර්ධන මහතා පෙනී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon