පෙර වැරැදි රැසකට ඇඟ බැඳ සිටි වියපත් පුද්ගලයෙක් කිරිපිටි සොරකම් කර අසුවී වසර 2ක් හිරේට

  👤  3551 readers have read this article !
By mawbima 2017-03-21

අමිල අබේරත්න

පෙර වැරැදි ගණනාවක් තිබීම සහ උසාවි දෙකක් මඟින් ඇඟ බැඳ තිබියදී කිරිපිටි සොරකමක් සිදුකළ වයෝවෘද්ධ පුද්ගලයකුට කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය රුපියල් 1500ක දඩයක් සහ වසර 2ක සිරදඬුවමක් නියම කළාය.

සොරකම් කිරීම සම්බන්ධයෙන් මීට පෙර සිරගත වී සිටීමත් අධිකරණ දෙකකින් ඇඟ බැඳ තිබීමත් පෙර සිදුකරන ලද වැරැදි සහ විඳි දඬුවම් මතක නොමැති වීම හේතුවෙන් වසර 2ක සිරදඬුවමක් නියම කිරීම යෝග්‍ය බව දන්වා සිටිමින් මහෙස්ත්‍රාත්වරිය විත්තිකරුට මෙම සිරදඬුවම ලබා දුන්නාය.

වසර 2ක සිරදඬුවම් විඳ නිදහස් වී පැමිණි පසු අවුරුදු 2ක් යනතුරු මසකට දෙවතාවක් කොල්ලුපිටිය පොලිසියට වාර්තා කළ යුතු බවද මහෙස්ත්‍රාත්වරිය විත්තිකරුට නියම කළාය.

විත්තිකරු කොටුව මහෙස්ත්‍රාත්වරියගෙන් පෞද්ගලික ඇපයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර ඒ අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරිය පෙර වැරැදි සහ සිර දඬුවම් විඳ තිබෙනවා දැයි විත්තිකරුගෙන් ඇසූ අතර ඔහු පවසා සිටියේ කිසිදු වරදක් තමා සිදුකර නොමැති බවයි. එසේ වුවද සොරකම් කිරීම සම්බන්ධයෙන් පෙර වැරැදි ගණනාවක් තිබෙන බව සහ සිරදඬුවම් විඳ ඇති බව විත්තිකරුගේ චෝදනා පත්‍රය මඟින් අණාවරණය විය. කොල්ලුපිටිය පොලිසිය මඟින් නඩුව ගොනුකර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon