කිසිවකුගේ නෙත නොගැටී අපාදුක් විඳින වියපත් මවකගේ දුක හිතෙන කතාව...

  👤  3543 readers have read this article !
By mawbima 2017-03-21

අරණායක - රත්න හෙම්මාතගම

කිසිවකුගේ පිළිසරණක් නොමැතිව හිඟමන් යදිමින් පාළු නිවෙසක රැඳී සිටියදී පසුගිය සති අන්තයේ රභිරහස් ලෙස මියගොස් සිටි වයෝවෘද්ධ මාතාවගේ මරණයත් සමඟම ඒ හා බැඳුණු තවත් කඳුළු කතාවක් පිළිබඳව හෙළිදරව් වී ඇත්තේ අවාසනාවන්ත ලෙසිනි.

පසුගිය සති අන්තයේදී මියගිය සෝමා නොහොත් වඩුගේ සිරියාවතී ප්‍රනාන්දු නමැති (65) මාතාව එවන් අවාසනාවන්ත සිද්ධියකට මුහුණ පාද්දී ඇය ලැඟුම් ගෙන සිටි එම පාළු නිවෙසේම සැපක් නැති දුක බෙදා හදාගෙන ජීවත්වූ ඇයගේ සම වයසේ පසුවන යෙහෙළියක අද අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටින අයුරු ගල්බොක්ක හන්දිය අසල පාළු නිවෙසට ගිය අපට සියැසින් දැකගන්නට ලැබිණි.

ආවේ කොහෙන්ද? ඥාතීන් කවුද කියාවත් නොදන්නා කුසුමා නමින් හඳුන්වන එම වයෝවෘද්ධ මාතාව රෝගාබාධ කිහිපයකට ගොදුරුව එක්තැන්ව එම පාළු නිවෙසේ තාමත් රැඳී සිටී. සිය යෙහෙළියගේ මරණයත් සමඟම මේ වයෝවෘද්ධ මාතාව පාළු නිවෙසේ ගොඩ ගැසුණු අපද්‍රව්‍යවලින් මෙන්ම තමන්ගේ මළ මුත්‍රවලින්ද නෑවී ජරාවට පත්ව නිරාහාරව අවසන් ගමන් යන්නට පෙරමඟ බලා සිටින අයුරු ශෝචනීය දසුනක් බවට පත්ව තිබේ.

සෝමාගේ අභිරහස් මරණයෙන් පසු කිසිවකුත් එම පාළු නිවෙස දෙසට යන්න උනන්දුවක් නොදක්වන්නේ මේ වයෝවෘද්ධ කාන්තාවට ඇප උපස්ථාන කරන්නට ගියහොත් සෝමාගේ අභිරහස් මරණය පිළිබඳව තමන්ටද කටඋත්තර දෙන්නට සිදුවනු ඇතැයි අවට පදිංචිකරුවන් තුළ කුකුසක් පැන නැඟීී ඇති නිසා බව මේ පිළිබඳව විමසා බැලීමට ගිය අවස්ථාවේදී අපට පැහැදිලි විය.

කෙසේ වුවද මේ වයෝවෘද්ධ මාතාව ගත කරන මේ අවාසනාවන්ත ජීවිතයෙන් මුදා ගන්නට මෙතෙක් වගකිව යුත්තකු ඉදිරිපත් නොවීම බෙහෙවින් කනගාටුදායකය. මිනිසකු තබා තිරිසන් සත්ත්වයකුත් නොවිඳින මේ අපාදුකට වගකිව යුත්තන්ගේ අවධානයට යොමු කොට කිසියම් පියවරක් ගන්නේ නම් එය මහඟු පින්කමක් බව කිව යුතුව ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon