යාල වනෝද්‍යානය තවත් ලොකු කරන්න යයි

  👤  3680 readers have read this article !
By mawbima 2017-03-21

සපුමල් ජයසේන

යාල ජාතික වනෝද්‍යානයෙහි විශාලත්වය අක්කර පනස් අට දහස් හත්සිය හතළිස් පහකින් වැඩිකොට එය සංවර්ධනය කරන බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

යාල උද්‍යානය අක්කර දෙලක්ෂ හතළිස් හතර දහස් හත්සීයක ප්‍රදේශයක් පුරා පැතිරී ඇති අතර ලුණුගම්වෙහෙර වනෝද්‍යානයද යාලට එක් කරගනිමින් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව එහි විශාලත්වය අක්කර තුන් ලක්ෂ තුන් දහස් හාරසීය හතළිස් පහක් බවට පත් වේ.

මේ වනෝද්‍යානය අන්තර්ජාතිකයේ පවා නමන් දිනාගෙන ඇති වනෝද්‍යානයක් බවත් ලංකාවට පැමිණෙන විදේශික සංචාරකයන්ගෙන් සියයට අනූවක්ම යාලට පැමිණෙන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජාතික වනෝද්‍යාන 22ක් අතරින් දේශීය සංචාරකයන් අතරද වඩාත්ම ජනප්‍රිය වනෝද්‍යානය යාල වන අතර එහි ජීප් රථ තදබදය අවම කර පහසුකම් වැඩි දියුණු කරමින් සංවර්ධනය කිරීම සඳහා අගමැතිවරයා විසින් කමිටුවක් පත්කර ඇතැයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල් සරත් පතිරත්න මහතා කියා සිටී.

ඒ අනුව පාලම්, බෝක්කු අලුත්වැඩියා කොට මෙතෙක් සංචාරකයන්ට විවෘත කර නොතිබූ කලාප අංක තුන, හතර සහ පහ ද සංචාරකයන් සඳහා විවෘත කරන බවත් වනෝද්‍යානයේ සියලුම මාර්ගවල එක් දිශාවකට පමණක් ජීප් රථ ගමන් කරවීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

යාල වනෝද්‍යානයට අලුතින් එක්වන ප්‍රදේශය කලාප අංක හය ලෙස නම් කරන බවද හෙතෙම සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon