ඇ.ඩො. 3,30,000 අවභාවිත කළැයි සිරගතව සිටි ජාලිය වික්‍රමසූරියට ඇප

  👤  3623 readers have read this article !
By mawbima 2017-03-21

අමිල අබේරත්න

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොඩනැඟිල්ලක් මිලදී ගැනීමේදී ඇමෙරිකා ඩොලර් 3,30,000ක මුදලක් අවභාවිත කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා රුපියල් 50,000ක මුදල් ඇපයක් හා ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

කොටුව මහෙස්ත්‍රාත්වරිය හිටපු තානාපතිවරයාගේ විදේශ ගමන් තහනම් කළ අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙස දැනුම් දුන්නාය.
අධිකරණයට ඉදිරිපත් කළ හැකි තත්ත්වයකට හිටපු තානාපතිවරයා සුවය ලබා ඇත්නම් ඇප කොන්දේසි පහදා දීම සඳහා ලබන 20දා හිටපු තානාපතිවරයා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.

මහෙස්ත්‍රාත්වරිය හිටපු තානාපතිවරයාට ඇති වී තිබෙන රෝගී තත්ත්වය සලකා බලා ඇප දීමට නියෝග දී තිබේ.
ජාලිය වික්‍රමසූරිය මහතා විසින් ඔහුගේ නීතිඥයන් මාර්ගයෙන් ලිඛිත ඇප අයැදීමක් සිදුකර තිබූ අතර ඇප අයැදීම සමඟ වම් ඇසේ සහ දකුණු ඇසේ පෙනීමේ දුර්වලතාවක් හා රුධිර පීඩනය අඩු වැඩි වීමේ තත්ත්වයක් හටගෙන ඇති බවත් පුරස්ථි ග්‍රන්ථවල ආබාධයක් හටගෙන ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන් විසින් සහතික කරනලද වෛද්‍ය වාර්තාවක්ද ඇප අයැදීම සමඟ ඉදිරිපත් කරනු ලැබිණි.

හිටපු තානාපතිවරයා නේවාසිකව ප්‍රතිකාර ලබන පෞද්ගලික රෝහලේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් එම වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර තිබිණි.
ජාලිය වික්‍රමසූරිය මහතාගේ පුතා මේ වනවිට විදේශ ගතව අධ්‍යාපනය ලබන බවද තම පියා බන්ධනාගාරගතව සිටීම හේතුවෙන් ඔහුට දැඩි මානසික පීඩනයක් හටගෙන තිබෙන බවද එම හේතුව මත ඔහුගේ අධ්‍යාපනය අඩාල වී ඇති බවද සඳහන් වූ විදේශගතව අධ්‍යාපනය ලබන විද්‍යාලයේ වෛද්‍යවරයා විසින් නිකුත් කරන ලද වාර්තාවක්ද ඉදිරිපත් කෙරිණි.

ඒ සියලු කරුණු සලකා බලා ඇප ලබාදෙන ලෙස ජාලිය වික්‍රමසූරිය මහතාගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon