අපේ වටිනා තරුණ සම්පත රෝද තුනකට කොටුවෙලා

  👤  3636 readers have read this article !
By mawbima 2017-03-21

ලංකාවේ තරුණයන් ලක්ෂ එකොළහක් පමණ ත්‍රිරෝද රස්සාව සිය ජීවනෝපාය බවට පත් කරගෙන ඇති බව කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පැවැසීය. අමාත්‍යවරයා මේ බව පැවැසුවේ බදුල්ල-උෟව පරණගම ප්‍රදේශයේ පැවැති රැකියා පොළකට සහභාගි වෙමිනි.

උෟව පරණගම ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා ලබාදීම සඳහා අඹගස්දෝව ජනාධිපති විද්‍යාලයේ පැවැති මෙම රැකියා පොළ සංවිධානය කර තිබුණේ කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍යංශයේ යටතේ ඇති මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව විසිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය

පාසල් හැර ගිය තරුණයන් ලක්ෂ එකොළහක් පමණ අපේ රටේ මේ වෙනකොට ත්‍රීවීල් රස්සාව තෝරාගෙන තිබෙන බව සමීක්ෂණ වාර්තාවලින් පෙන්වා දෙනවා. මේ අයගෙන් බහුතරය උසස් පෙළ සමත් වෙච්ච අය. ඇතැම් අය ඒ සාමාර්ථ තුන ගත්ත අය. මෙවැනි තරුණ පිරිසක් හන්දි ගාණේ රස්තියාදු ගහන එක ගැන රටක් විදියට අපි කනගාටු විය යුතු කාරණයක්. මේ පිරිස රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක කරගන්න අපි අසමත් වෙලා තියෙනවා. ලක්ෂ එකොළහක පමණ තරුණ පිරිසක් රෝද තුනක් උඩ ජීවිතයේ හොඳම කාලය ගෙවා දැමීම රටේ ඉදිරි ගමනට විශාල පාඩුවක්.

මේ කාරණය අපේ ආණ්ඩුව හොඳින් තේරුම් අරගෙන තියෙනවා. දැන් අපි සැලසුම් සකස් කරල තියෙනව අපේ රටේ උගත් තරුණ තරුණියන් රටේ සංවර්ධනයට දායක කරගැනීමට, රැකියා දස ලක්ෂයේ වැඩසටහන අනුව ඒ කටයුතු සිදුවන බවත් මම මෙහිදී ප්‍රකාශ කරන්න කැමැතියි.

මෙම රැකියා පොළ සඳහා පන්සියයකට අධික තරුණ තරුණියන් පිරිසක් සහභාගි වූ අතර උෟව පළාත් සභාවේ කෘෂිකර්ම, වාරිමාර්ග, සත්ත්ව නිෂ්පාදන හා මිරිදිය මසුන් සංවර්ධන අමාත්‍ය උපාලි සමරවීර, කම්කරු අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් සුනිල් අබේවර්ධන, මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජී.ජී. ධර්මසේන සහ ශ්‍රම වාසනා අරමුදලේ සාමාන්‍යාධිකාරි ඩී. ආර්. ජයලත් මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon