සුමන්තිරන්ලාට සවන් නොදී සිටියොත් සිවාජිලිංගම් වැනි අන්තවාදීන්ට පාර කැපෙනවා

  👤  3592 readers have read this article !
By mawbima 2017-03-21

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළහොත් රටේ ත්‍රස්තවාදය පරදවන්න බැරි බවට ජනතාව තුළ තිබෙන මතය බොරුවක් යැයි සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉකුත් 19 වැනි දින මතුගමදී පැවැසීය. හෙතෙම මේ බව කියා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා කේන්ද්‍රීය පුරවැසියන්ගේ අදහස් විමසීම සඳහා මතුගම ශ්‍රවණාගාරයේ සංවිධානය කළ සම්මන්ත්‍රණයකට සහභාගි වූ අවස්ථාවේදීය. බස්නාහිර පළාත් සභා මන්ත්‍රි කීර්ති කාරියවසම් මහතා විසින් සංවිධානය කර තිබූ මෙම දැනුවත් කිරීමේ හා ජනතා අදහස් විමසීමේ සම්මන්ත්‍රණයේදී අමාත්‍යවරයා මෙසේද කීය.

මේ රටේ ත්‍රස්තවාදය ආරම්භ වුණු කාලයේදීත් තිබුණේ විධායක ජනාධිපති ක්‍රමය. ඉතින් ඒ දවස්වලවත් ත්‍රස්තවාදය නැති කරන්න විධායකයට නොහැකි වුණා නම් දැන් කොහොමද කියන්නේ විධායකය නැතිව ත්‍රස්තවාදය පරදවන්න බෑ කියලා මේවා එක එක්කෙනාගේ වාසියට හදාගන්න කතා. මේ රට දියුණු වෙන්නනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි. ඒ වගේම මේ කාලකණ්ණි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි. අද විපක්ෂයේ ආර්. සම්බන්දන් හා සුමන්තිරන් වැනි අය ඒකීය රජයක් යටතේ ආණ්ඩුක්‍රමයකට කැමැති වෙලා තියෙන අවස්ථාවක මේ නව ආණ්ඩුක්‍රමය සැකසිය යුතුයි. මේක ස්වර්ණමය අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි.

අප තීරණය කරන්න ඕනෑ. සම්බන්දන් වගේ මධ්‍යස්ථ මතධාරීන්ගේ අදහස් අනුව මෙය කරනවාද නැතිනම් සිවාජිලිංගම් වගේ අන්තවාදීන්ගේ මත අනුව කරනවාද කියන එක. මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට මුල් තැන දීලා තියෙනවා. පරමාධිපත්‍ය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය මධ්‍යම ආණ්ඩුව සතුයි. පළාත්වලට බෙදුම්වාදය තහනම්. බලය බෙදීම ඒකීය රාජ්‍යයක් යටතේ සිදුකරන්න විරුද්ධ පක්ෂය කැමැති වෙලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාව මඟහරින්න හොඳ නෑ.

පසුගිය ජනාධිපතිවරණයේදී තරුණ පිරිස් බලාපොරොත්තු වුණේ වෙනසක්. සමාජ වෙබ් අඩවි හරහා ඒ අය දැක්කා වෙනත් රටවල තියෙන ආණ්ඩුක්‍රමවල හැටි. ඒ නිසා වෙනස ඇති කරන්න එකතු වුණේ. තරුණ පිරිස් හතළිස් හතේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ එංගලන්තයේ රැජනට ඕනෑ විදියටයි. මෙහේ මොනවාහරි වුණාම එදා රැජන එහේ තීරණ ගන්නවා. හැත්තෑ දෙකේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ කොල්වින් ආර්. ද සිල්වා මහතා. නමුත් එයා සහ එයාගේ ගෝලබාලයෝ ඒක හැදුවේ සීතල කාමර ඇතුළේ ඉඳගෙනයි. කොල්වින් මහතා කවදාවත් ව්‍යවස්ථාව හදන්න ජනතා අදහස් විමසන්න අගලවත්තට ආවේ නෑ. එහෙත් අද මේ ගම්වලට ඇවිත් තමුන්නාන්සේලාගේ අදහස් විමසනවා. ඒකයි වෙනස. මේ ආණ්ඩුක්‍රම යටතේ මැතිවරණයකට ඉදිරිපත් වෙන්න පුළුවන් සල්ලිකාරයන්ට පමණයි එදා මැතිවරණයකදී පෝස්ටර් දහදාහක් ඇති වුණත් අද ලක්ෂ දෙකක්වත් ඕනෑ. මොකද එකෙක් ගහනකොට තව එකෙක් වහනවා. ඒ නිසා මේ මැතිවරණ ක්‍රම වෙනස් විය යුතුයි.
මේ අවස්ථාවට සහභාගි වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම පිළිබඳ ජනතා අදහස් විමසීමේ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන නීතිඥ ලාල් විජේනායක මහතා මෙසේ පැවැසීය. අප රටක් වශයෙන් එදා ඉඳන් එකතැන පල්වෙනවා. එදා සිංගප්පූරුව සිහින මැව්වා කවදා හෝ ලංකාව වගේ දියුණු වෙනවා කියලා. අද සිංගප්පූරුව අපට කිට්ටු කරන්නවත් බෑ. අපි අද ඉන්නේ බංග්ලාදේශය වගේ තත්ත්වයකයි.

පළාත් සභා මන්ත්‍රි කීර්ති කාරියවසම් මහතා මෙසේ පැවැසීය.

කවදාවත් ගමෙන් ගමට ගිහින් ජනතා අදහස් විමසලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා මම ඉතිහාසෙවත් අහලා නෑ. මේ ආණ්ඩුක්‍රමය වහා වෙනස් නොකළහොත් රට දියුණු කරන්න බෑ. අද මට මේ පළාතේ මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා හමු වුණා. එතුමා ඇහුවා අද මොකක්ද මතුගම තියෙන්නේ කියලා. මේ ආණ්ඩුක්‍රමයට අනුව ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනෑ කියන මතයේ එතුමත් ඉන්නවා. එසේ නම් ජනතාව වශයෙන් ඔබලා බුද්ධිමත්ව තීන්දු තීරණ ගත යුතුයි.

මීගහතැන්න - එස්. කන්නන්ගර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon