දෙරටේ සබඳතා ඉදිරියේදී වඩාත් ශක්තිමත් වේවි චීන ආරක්ෂක ඇමැති ශ්‍රී ලංකා ජනපති හමුවේදී කියයි

  👤  3613 readers have read this article !
By mawbima 2017-03-21

උදේනි සමන් කුමාර

චීනය හා ශ්‍රී ලංකාව අතර තානාපති සබඳතාවලට වසර 60ක් වැනි දීර්ඝ කාලයක් සපිරෙන අතර දෙරටේ සබඳතා ඉදිරියේදී වඩාත් ශක්තිමත් වනු ඇතැයි චීන ආරක්ෂක ඇමැති ජනරාල් වෑන්ග් වන්ක්වාන් මහතා විශ්වාසය පළ කරයි.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන ආරක්ෂක ඇමැති සහ රාජ්‍ය උපදේශක ජනරාල් වෑන්ග් වක්වාන් මහතා ඊයේ (20දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවෙසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී මෙම අදහස් පළ කළේය.

වත්මන් ජනාධිපතිවරයා යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජයීය සුබසිද්ධිය සඳහා ශක්තිමත් පදනමක් වැටී ඇති බව ප්‍රකාශ කළ චීන ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් සඳහා චීනය දැනට ලබාදෙන පුහුණුවීම් ඉදිරියටත් අඛණ්ඩව ලබා දෙන බවද පැවැසීය.

චීන ආරක්ෂක ඇමැතිවරයා චීන ජනාධිපතිවරයාගේ සුබ පැතුම්ද ජනාධිපති සිරිසේන මහතා වෙත පිළිගැන්වීය. මෙරට ආරක්ෂක හමුදාවන් සඳහා චීනය ලබාදෙන පුහුණු අවස්ථා පිළිබඳ ස්තුතිය පළ කළ ජනාධිපතිවරයා මෙරට යුද්ධය පැවැති වකවානුවේ චීනය ලබාදුන් සහයෝගයද ඇගැයීමට ලක් කළේය.

දෙරට අතර පවත්නා මිත්‍රශීලී සබඳතා හේතුවෙන් ගිවිසුම් රැසකට ඉදිරියේදී එළැඹෙන බවද සඳහන් කළ ජනපති එම ගිවිසුම් ශ්‍රී ලංකාවේ අභිමානයට, ස්වාධීනත්වයට සහ ජාතික ආරක්ෂාවට හානියක් සිදු නොවන පරිද්දෙන් සිදුකරන බවද සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon