ජිනීවා - ලංකා නාඩගම උච්චතම අවස්ථාවට පැමිණ තිබෙනවා

  👤  3589 readers have read this article !
By mawbima 2017-03-21

ජිනීවා ලංකා නාඩගමේ උච්චතම අවස්ථාවට මේ වන විට පැමිණ තිබෙන බවත් හම්බන්තොට වරාය ගිවිසුම මඟින් වත්මන් ආණ්්ඩුව නින්දිත පාවාදීමක් සිදුකිරීමට හැදුවත් ජනතාවගේ විරෝධය නිසා එය වැළකී ගිය බවත් සමාජවාදී ජනතා පෙරමුණේ සාමාජික සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි.

පළාත් පාලන ඡන්දය පැවැත්වීම වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය කරන අරගලයට එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන අපේක්ෂකයන්ගේ සහායද මේ වන විට ලැබී තිබෙන බවද වාසුදේව නානායක්කාර මහතා පැවැසුවේය.

වාසුදේව නානායක්කාර මහතා මේ අදහස් පළ කළේ ඊයේ (20දා) බොරැල්ල එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී කරුණු දක්වමිනි.
මේ මාධ්‍ය සාකච්ඡාවේදී නානායක්කාර මන්ත්‍රිවරයා මෙසේද පැවැසුවේය.

ජිනීවා යෝජනා පිළිබඳ කතා කිරීමේදී විදේශ ඇමැතිවරයා අපේ රට යම් කටයුතු සම්බන්ධයෙන් යටත් කරන තත්ත්වයකට පත් කරලා තිබෙනවා. එම ගිවිසුමේ තියෙන දේවල් ගැන මෙහෙට ඇවිත් බොරු කියනවා. ජනාධිපතිතුමා කියනවා එතුමාට කොඳු ඇටයක් තිබෙන නිසා විදේශ විනිසුරුවන්, චෝදනාකරුවන්, විදේශ නීතිඥයන් මැදිහත් වන පරීක්ෂණවලට එකඟ වෙන්නේ නැහැ කියලා.

එතකොට එතුමා කියලා තිබෙන්නේ කොඳු ඇටය නැති අය තමයි මේ කාරණය සම්බන්ධයෙන් යම් එකඟතාවලට ඇවිල්ල තිබෙන්නෙ කියලයි. එතකොට ජනාධිපතිතුමා තමන්ගේ විදේශ ඇමැතිවරයා සම්බන්ධයෙන් යම් තීන්දුවකට පැමිණිය යුතුයි. මොකද එතුමා කියන කාරණාවලට නෙවෙයි විදේශ ඇමැතිවරයා එකඟ වෙලා තිබෙන්නේ.

ආණ්ඩුවට මේ ප්‍රශ්න සම්බන්ධයෙන් මඟහරින්න බැහැ. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකිව යුතුයි. ඒ කියන්නේ විදේශ ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන්. විදේශ ඇමැතිවරයාව තනතුරෙන් ඉවත් කළ යුතුයි.

දෙමළ ජාතික සන්ධානයත් ජනතා විමුක්ති පෙරමුණත් කියන්නේ විදේශ කටයුතු ඇමැතිවරයා විසින් ජිනීවා නුවරදී අස්සන් කරපු එම යෝජනාවේ කොන්දේසි ඉටු කළ යුතුයි කියලා.

හම්බන්තොට වරාය විකිණීමට යනවා කියලා විශාල විරෝධයක් එල්ල වුණා. විශාල ගැටුමක් ඇති වුණා. ජනතාව හිිර ගෙවල්වල දැම්මා. එහෙම වුණේ මේ ගිවිසුම නිසා රටට හානි වන නිසයි. අර්ජුන රණතුංග ඇමැතිවරයාත් ඒ බව පිළිගෙන තිබූ බවටයි ආරංචි වී තිබුණේ. ඒ ගිවිසුමේ කොන්දේසි යම් ආකාරයකට වෙනස් කරලා නැවත එම ගිවිසුම අස්සන් කරන්න හදනවා. ආණ්ඩුවට මෙසේ කොන්දේසි වෙනස් කරන්න වුණේ ජනතාව එයට විරුද්ධ වූ නිසයි.

පළාත් පාලන ඡන්දයේ අයිතිය තියෙන්නේ අපිට. එය වහාම ලබාදිය යුතුයි. මේ විදියට ඡන්ද කල් දාන්න ආණ්ඩුවට අයිතියක් නැහැ. අපිට මේ සඳහා විරුද්ධ පක්ෂවලත් සහයෝගය ලැබී තිබෙනවා. මේ විරෝධය අපි ජාතික මහා විරෝධතාවකට හරවනවා. එය ආණ්ඩුවට පවතින්න බැරි වෙන තරමේ විරෝධතාවක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

රුපියලේ වටිනාකම දිගින් දිගටම පල්ලෙහාට යනවා. රුපියලේ වටිනාකම පහළ යෑම නිසා 2016 පළමුවැනි මාස 5 තුළ රුපියල් බිලියනය බැගින් මාසයකට එකතු වුණා. මෙහෙම යන්න වුණොත් කොයි තරම් ණය ප්‍රමාණයක් ගෙවන්න සිදුවෙනවද අපිට. ඒ වෙනුවෙන් අපේ දරු පවුල් ණය කාරයන්ට පාවා දෙන්න බැහැ.

මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා

මේ රටේ ණය බර වැඩි කරන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේ මේ වත්මන් ආණ්ඩුව විසින්. ඒක වර්තමාන මහ බැංකු අධිපතිතුමාත් කියලා තිබෙනවා. දේශීය ණය ප්‍රමාණය මේ වෙනකොට 13%ක් වැඩිවෙලා තිබෙනවා. නව ලිබරල් ප්‍රතිපත්ති ක්‍රියා කරන ගමනක තමයි මේ ආණ්ඩුව යන්නේ. ඒ නිසයි මේ ආණ්ඩුව රටේ වත්කම් විකුණන්නේ. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් සමඟ බහු ජාතික සමාගම්වලට ඕන විදියටයි. රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක වන්නේ ඔවුන්ට ඕන විදියටයි.

මේ ආණ්ඩුවේ ක්‍රියා මාර්ග නිසා රටේ සංහිඳියාවක් ඇතිවන්නේ නැහැ. කලහකාරී තත්ත්වයක් තමා ඇතිවන්නේ.

ඩෙංගු ප්‍රශ්නය රටේ එන්න එන්නම වැඩි වෙනවා. උතුරේ එම තත්ත්වය තවත් වැඩි වෙලා තිබෙනවා. ඉඩෝරය ඇති වෙන කොට ඩෙංගු බෝවීම හරි නම් අඩුවන්න ඕනේ. එහෙත් එහෙම දෙයක් නෙමෙයි වෙලා තිබෙන්නේ. මේ ගැටලුව පිළිබඳව කිසිම සොයා බැලීමක් සිදු කරලා නැහැ. ඩෙංගු පාලනය කිරීම අපහසු දෙයක් නෙවෙයි.

ලංකාවේ කීට විද්‍යා පර්යේෂණ ආයතනයක් තිබුණත් උතුරු පළාතේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වී තිබෙන ප්‍රදේශවලට කිසිම කීට විද්‍යාඥයෙක් ගිහින් නැහැ. ඕඊධ් බැක්ටීරියාව නොමිලේ ලබා දෙන්න කියුබාව අපට පොරොන්දු වුණා. නමුත් අපි ඒක ගත්තේ නෑ. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ ඒ ප්‍රදේශවලට කීට විද්‍යාඥයන් යවලා ඒ ප්‍රදේශවල ඩෙංගු මදුරුවන් බෝ වීම නතර කරන්න කියලයි.

රටේ වත්කම් විකුණන මේ ආණ්ඩුවේ ක්‍රියාවලියට අපි විරුද්ධයි. අපි එය හෙළා දකිනවා.

මේ සාකච්ඡාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්ද්‍රසිරි ගජධීර මහතා

මේ දවස්වල වැඩිපුරම කතා වෙන්නේ කැබිනට් සංශෝධනය පිළිබඳව. මේ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් කියන්නේ කැබිනට් සංශෝධනයක් සිදුවෙනවා කියලයි. නමුත් එක්සත් ජාතික පක්ෂයේ පිරිස් කියන්නේ එහෙම දෙයක් වෙන් නැහැ කියලා. කෙසේ වෙතත් මේ වෙනකොට මේ ආණ්ඩුව තුළ විශාල අර්බුදයක් මතු වී තිබෙනවා. ඉතින් ආණ්ඩුව බලනවා කැබිනට් සංශෝධන ගෙනැල්ලා හෝ මේ තත්ත්වය වෙනස් කරන්න. මේ ආණ්ඩුව ජනතාවට දුන්නු පොරොන්දු කිසිවක් ඉෂ්ට කරලා නැහැ. විදේශ ආයෝජන අඩු වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව බරපතළ මූල්‍ය අර්බුදයක ඉන්නේ.

රටේ සංවර්ධන කටයුතු නවත්වලා තිබෙනවා. ඒවා කරන්න මේ රජයට සල්ලි නැහැ.

රටේ ආර්ථිකය විනාශ වෙලා ඉවරයි. රටේ මිනිසුන්ට පඩි ගෙවා ගන්න බැරි තත්ත්වයක් ඉදිරියේදී ඇති වෙනවා.

ආණ්ඩුව පළාත් පාලන ඡන්දය පවත්වන්නෙ නැත්තේ ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා දන්න නිසයි.

මෙහිදී අදහස් දැක්වූ සමාජවාදී ජනතා පෙරමුණේ කැඳවුම්කරු රාජා කොල්ලුරේ මහතා

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු බලයට ආපු හැම වෙලාවකම රටේ දේපළ විකුණුවා. රාජ්‍ය ආයතන ගණනාවක් වාණිජ කරන ලේබලය යටතේ පෞද්ගලීකරණය කරනවා කියලා මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon