හරි නම් රිදී තරු පාලමට රන්තරු පහක් ලබාදෙන්න ඕනෑ

  👤  3677 readers have read this article !
By mawbima 2017-03-21

ආණ්ඩුව ගෙන ඒමට බලාපොරොත්තු වන ග්‍රාම රාජ්‍ය සංකල්පයට අදාළ වාර්තාව මේ වන විට නිකුත් වී ඇති බවත්, සෑම යෞවන සමාජයකටම යවන එම වාර්තාව හොඳින් අධ්‍යයනය කර තරුණ තරුණියන්ගේ අදහස් ලබා දෙන ලෙසත්, එම අදහස්ද සැලකිල්ලට ගෙන ග්‍රාම රාජ්‍ය සංකල්පය ක්‍රියාවට නංවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ආණ්ඩුව මඟින් ගම්වල ව්‍යාපෘති සඳහා දැනට ලබාදෙන රුපියල් 75,000ක මුදල ප්‍රමාණවත් නොවන බවට අදහස් පළවී ඇති බැවින් ඊළඟ වාරයේ සිට එය රුපියල් 1,50,000 දක්වා සියයට සියයකින් වැඩි කරන බව සඳහන් කරන අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුව රුපියල් 75,000ක් ලබාදීමෙන් බලාපොරොත්තු වූයේ එමෙන් තුන් ගුණයක් වටිනා ව්‍යාපෘතියක් නිමා කර ගැනීමට වුවත් ඇතැම් යෞවන සමාජ එමෙන් පස් හය ගුණයක් වටිනා වැඩකටයුතු තම ගම වෙනුවෙන් ඉටු කිරීමෙන් "ගමට කෝටියක්" වැඩසටහන වඩාත් අර්ථාන්විත ව්‍යාපෘතියක් බවට පත් කිරීම සතුටට කරුණක් බවද පවසයි.

දිවයින පුරා යෞවන සමාජ අතර ජාතික තරුණ සේවා සභාව ක්‍රියාත්මක කළ ගමට කෝටියක් වැඩසටහනේ ප්‍රථම ස්ථානය හිමි කරගත් නෙළුව, හප්පිටියේ රිදී තරු පාලම නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

රිදී තරු පාලමට හරි නම් රන්තරු පහක් ලබා දිය යුතුයි. අප මේ පාලම ඉදි කිරීමට රුපියල් 75,000ක් ලබා දුන්නා. ඒ මුදල ප්‍රයෝජනයට ගෙන රුපියල් ලක්ෂ 43ක් වටිනා පාලමක් ඉදි කර තිබෙනවා.

මේ පාලම ඉදිකිරීමේ අදහස දුන් දිල්කි ඇතුළු තරුණ පිරිස ඉදිකර තිබෙන්නේ නිකම්ම පාලමක් නොවේ. මේ පාලම මුළු රටටම ආදර්ශයක් බව කිව යුතුයි. මෙය තරුණ තරුණියන්ට නායකත්වය ගෙන ගම දියුණු කළ හැකි යැයි පෙන්වන වැඩසටහනක්. මෙහි තිබූ ඒදණ්ඩෙන් වැටීම නිසා දිල්කිගේ පියාගේ ජීවිතය නැති වුණා. ඒ නිසා මේ පාලම ඉදි කිරීම සම්බන්ධයෙන් දිල්කිටත් සහෝදරියන් දෙදෙනාටත් පෞද්ගලික හේතුවක් තිබුණා. නමුත් එම අවශ්‍යතාව මුළු ගමටම පොදු අවශ්‍යතාවක් වුණා.

අප මුළු රටටම එකොළොස් කෝටි විසිපන් ලක්ෂයක මුදලක් දුන්නා. දැන් රටට ලැබී ඇති වැඩකටයුතුවල වටිනාකම රුපියල් කෝටි හතළිස් හතයි. අප කෝටි 11ක් දීමෙන් ආණ්ඩුවට කෝටි හතළිස් හතක ප්‍රතිලාභයක් ලැබී තිබෙනවා. එසේ නම් රුපියල් කෝටි 36ක අමතර ලාභයක් ලැබී තිබෙනවා. කිසිම විමධ්‍යගත ව්‍යාපෘතියකින් මෙවැනි ප්‍රතිලාභයක් ලැබී නැහැ.

මේ වැඩසටහනින් හොඳ ව්‍යාපෘති සඳහා එනම් පස් ගුණයක් වටිනාකම ලැබූ ව්‍යාපෘති කළ අයට කොන්ත්‍රාත් පැවරීමටත් අපි කටයුතු කරමු. අප මුළු රටටම මේ කතාව කිව යුතුයි. අප තරුණයන් සඳහා රුපියල් කෝටි 11ක් දුන් පසුව තරුණයන් අපට නැවත කෝටි 43ක් දුන්නා. අප දුන්නාට වඩා තුන් ගුණයකටත් වඩා ඔවුන් ලබාදී තිබෙනවා.

මේ ව්‍යාපෘති සඳහා ලංකාවෙන්ම ප්‍රථම ස්ථානයක් ලබාදුන්නා සේ දිස්ත්‍රික් මට්ටමින්ද හොඳම ව්‍යාපෘති තෝරා ත්‍යාග ලබා දෙමු.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ නුවරගම් පළාතේ අඩු ආදායම්ලාභීන්ට මැටි ඇතිරූ නිවාස වෙනුවට සිමෙන්ති ඇතිරූ නිවාස, මහනුවර තරුණ ගොවිපොළ, කොග්ගල දිස්ත්‍රික්කයේ දලුක විහාරස්ථානයේ සිට කන්ද මුල්ල විදුහල දක්වා වන මාර්ගය ඉදිකිරීම, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහජන පුස්තකාලය සහ ග්‍රාම නිලධාරි කාර්යාලය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ගල්කඩපතන ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම ආදී සාර්ථක ව්‍යාපෘති රාශියක් තිබෙනවා. මමත් හැකි අයුරින් එම ස්ථානවලට ගොස් තරුණයන් සමඟ සාකච්ඡා කරන්න මා කල්පනා කළා.

ගමේ පාරවල් හදලා නැතැයි අප හැමදාම රූපවාහිනියෙන් දකිනවා. ඒක හදලා නැහැ, මේක හදලා නැහැ කියමින් සමහර රූපවාහිනි හැමදාම කෑගහන අයුරු අපට නිතරම පෙනෙනවා. වසරේ දවස් තුන්සිය හැටපහෙන් එක දවසක්වත් මේ සංවර්ධන ව්‍යෘපෘති පෙන්වන්නැයි අපි ඔවුන්ට යෝජනා කරමු. ඇතැමුන් පාර හැදුවේ නැතැයි කියමින් අඬා වැටෙද්දී තරුණයන් මුදල් හොයාගෙන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සිදුකර තිබෙනවා. දැන් මේ ගම් මට්ටමේ සංවර්ධන ව්‍යෘපෘති පෙන්වන්න ගියොත් වෙනම නාළිකාවක් දෙන්නට සිදුවේවි.

අප තරුණ තරුණියන්ට රැකියා ආදායම් මාර්ග ලබා දෙන්නේ කෙසේද යන ප්‍රශ්නයට විසඳුම් සොයාගත යුතුයි. තරුණ තරුණියන්ට යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන බලාපොරොත්තුව ඒ ප්‍රශ්නයට විසඳුම් ලබා ගැනීමයි.

මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම අපේ මූලික ඉලක්කයක් වුණා. දැන් එහි ප්‍රශ්නයක් නැහැ. ෆේස් බුක්, ඔන්ලයින් හැම තැනකම අපට ‍ෙදාස් කියන්න පවා දැන් නිදහස තිබෙනවා. බනින්නේ නැති දවසක් නැහැ. ඡන්දෙ කාලේ එනකොට වස්‍ෙදාස් යන්නත් එක්ක ඕන තරම් බනින්න ඉඩ දෙන්නැයි මා දන්වා තිබෙනවා.
දෙවැනුව අප මේ රටට ස්ථිර සාමයක් ඇති කරගත යුතුයි. ආපසු මැරෙන්න යන්න බැහැ. අපේ තරුණයන් කී දෙනකු මිය ගියාද. අපේ අරමුණ සාමය ඇති කර ශ්‍රී ලාංකිකයන් ලෙස ඉදිරියට යෑමයි. ලෝකය අප දෙස අවධානයෙන් සිටින්නේ ඒ නිසයි.

අධ්‍යාපනය දියුණු කිරීම අපේ ඊළඟ අරමුණයි. වසර 13ක අධ්‍යාපනය අනිවාර්ය කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව නර්තන, සංගීතය ආදී විවිධ විෂය ක්ෂේත්‍රවල පුහුණුව දෙන්නම්.

අපේ අනෙක් මූලික ඉලක්කය වී ඇත්තේ ආර්ථිකය නැංවීමයි. විශාල ඉදිරි දියුණුවක් ඇති කිරීමයි. අප දැන් දකුණෙන් එහි ආරම්භය තබා තිබෙනවා. එක් පැත්තකින් හම්බන්තොට වරායේ වැඩකටයුතු ඇරැඹීමට සූදානම් වෙනවා. එයින් රටට විශාල දියුණුවක් ලැබෙනවා.

තරුණයන් ලෙස ඔබත් ඒ නායකත්වය අරගන්න. ඉදිරියට යන්න. පාලම්, වැව්, ක්‍රීඩාංගණ, ගොවිපොළ හදන්න ශක්තිය තිබෙනවා නම් ගමේ ආර්ථිකයෙන් රැකියා බිහි කරන්නේ කෙසේදැයි මට කියන්න.

මේ වැඩසටහන් ඉදිරියට ගෙන යෑම සඳහා තරුණයන් යොවුන් පුරයේදීත් සාකච්ඡා කර අපට කියන්න. අපට එකට එක්වී අවශ්‍ය ආධාර උපකාර ලබාදී ඒ වැඩකටයුතු කරගෙන යන්නම්.

අපේ අවශ්‍යතාව තරුණයන්ට අනාගතයක් ලබාදීමයි. ඔබේ අදහස් ලබාගෙන මේ සමාජය හැදීමයි. ඔබ සැමට හොඳ අනාගතයක් ඇති කරගැනීම සඳහා අප සමඟ එකතු වෙන්න. සංවර්ධන මෙන්ම රැකියා වැඩකටයුතු සාර්ථක කරගන්න අපි එකතු වෙමු.

මේ වැඩසටහන කළ ගමේ යෞවන සමාජයේ සැමට ස්තුතිය පළ කරනවා

එහිදී තරුණ තරුණියන් නැඟූ ප්‍රශ්නවලට අග්‍රාමාත්‍යවරයා ලබා දුන් පිළිතුරු මෙසේය

ප්‍රශ්නය: විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී යෞවන සමාජවල ක්‍රියාකාරීව කටයුතු කළ තරුණ තරුණියන්ට යම් ලකුණු ප්‍රමාණයක් ලබාදිය හැකි නම් එය තරුණ තරුණියන් දිරිගන්වනු ලබන වැඩසටහනක් වේවි යැයි අපේ අදහසයි.

පිළිතුර : වෘත්තීය දැනුම වැඩිකිරීම සඳහා පුහුණුව ලබාදීමේ වැඩසටහනක් අනාගතයේදී ආරම්භ කරනවා. එමෙන්ම උසස් පෙළ හදාරන අය විශ්වවිද්‍යාලයේ වරම ලැබුවද එයින් යම් කොටසක් විශ්වවිද්‍යාලයට යන්නේ නැහැ. ඔවුන් වෙනත් වෘත්තීය සඳහා අවධානය යොමු කරනවා. ගමේ ආර්ථිකය කේන්ද්‍ර කරගෙන වැඩසටහන් දියත් කළ යුතුයි. සංචාරක කර්මාන්තය ඇතුළු විවිධ පුහුණු ලබාදීමේ වැඩසටහන් දියත් කරමු.

ප්‍රශ්නය: මීට පෙර ක්‍රියාත්මක වූ දේශපාලන ශිල්පායතනය නැවත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුයි.

පිළිතුර : පසුගිය යුගයේ තරුණ සේවා සභාවේ වැඩකටයුතු දේශපාලනීකරණය වූ නිසා තරුණ සේවා සභාවේ සැබෑ අරමුණ ඉටු වූයේ නැහැ. දේශපාලන ශිල්ප ආයතනය නැවත ආරම්භ කිරීම සඳහා සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන්නම්.

ප්‍රශ්නය : සෑම කොට්ඨාසයක්ම පදනම් කරගෙන තරුණ මධ්‍යස්ථානයක් ඇති කරනවා නම් ගමේ සිටින තරුණයන්ට එයින් ප්‍රයෝජන ලබා ගැනීමට අවස්ථාව උදා වෙනවා. ඒ සඳහා ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුයි.

පිළිතුර : දැනට තිබෙන සම්පත් සැලකිල්ලට යොමු කරමින් ගමේ අවශ්‍යතා මත ප්‍රමුඛස්ථාන දිය යුතු අංශ පිළිබඳ අවධානය යොමු කර තීරණයක් ලබා දෙන්නම්.
ප්‍රශ්නය : දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ යොවුන් සාමාජිකයන් අවම වශයෙන් දෙදෙනකුට හෝ සහභාගිවීමේ අවස්ථාව උදා කර දෙනවා නම් තරුණයන්ගේ බොහෝ ප්‍රශ්න එහිදී සාකච්ඡා කිරීමට හැකි වේවි.

පිළිතුර : මේ සම්බන්ධයෙන් අවධානය යොමු කොට ගාල්ල දිස්ත්‍රික්කයේ අත්හදාබැලීමක් සිදු කිරීම සඳහා අවධානය යොමු කරන මෙන් වජිර අබේවර්ධන මහතාට උපදෙස් ලබා දෙන්නම්.

උපතිස්ස පෙරේරා, හිනිඳුම-රවීන්ද්‍ර චන්ද්‍රලාල්, පෝද්දල-යූ.එම්. තිලකරත්න, රත්ගම-ගුණපාල ඉරත්නවල්ලි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්