පුහුණුකරුගේම ගෙදරට ඇවිත් බංග්ලාදේශය 100 වැනි ටෙස්ට් ජය ලබයි

  👤  3648 readers have read this article !
By mawbima 2017-03-21

ශ්‍රී ලංකා කණ්ඩායමක් බංග්ලාදේශය සමඟ 2001 වසරේ සැප්තැම්බර් 6 වැනිදා එස්.එස්.සී. පිටියේදී ක්‍රීඩා කළ ප්‍රථම ටෙස්ට් තරගයෙන් පසුව බංග්ලාදේශ කණ්ඩායමකට ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීමට වසර 16ක් මෙන්ම තරග 18ක් බලා සිටීමට සිදුවිය. එසේ වසර 16කට පසුව පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4කින් පරාජය කළ බංග්ලාදේශ කණ්ඩායම එදා මෙදා තුර පැවැති දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය වෙනස් කළේය.

ඒ අනුව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමක් තම රටෙන් එහා ජයගත් සිවුවැනි තරගය මෙය වූ අතර, මෙයට පෙර ඔවුන් 2009 වසරේදී කොදෙව් කණ්ඩායම ගේ‍රනේඩා හා කිංස්ටවුන් හිදී අවස්ථා දෙකකදීත්, 2013 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායම හරේවලදීත් පරාජය කර තිබිණි.

100 වැනි ටෙස්ට් තරගයකදී ජයගත් සිවුවැනි රට ලෙස බංග්ලාදේශ කණ්ඩායම ඉතිහාස ගත වන අතර, මෙයට පෙර ඕස්ට්‍රේලියාව, කොදෙව් හා පාකිස්තාන කණ්ඩායම් මෙම කඩඉම තරණය කිරීමද විශේෂත්වයකි. ප්‍රතිවාදියකු පරාජය කරන්නට තරග 18ක් තරම් දුරක් යන්නට බංග්ලාදේශයට සිදුවුණද මෙයට පෙර නවසීලන්තය කණ්ඩායමට ප්‍රතිවාදී එංගලන්තය පරාජය කිරීමට ටෙස්ට් තරග 48ක් බලා සිටීමට සිදුවී තිබූ අතර, ඉන්දියානුවන්ට කොදෙව් කණ්ඩායම පරාජය කිරීමට ටෙස්ට් තරග 25ක් බලා සිටීමට සිදුවිය.

මේ අනුව තරග දෙකකින් යුත් ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ටෙස්ට් ශූරතාව කණ්ඩායම් දෙකටම හිමි වූ අතර, මෙයට පෙර ටෙස්ට් ශූරතා 15කම අයිතිය පැවැතියේ ශ්‍රී ලංකාව සතුවය.

ඡායාරූපය - නුවන් අමරවංශ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon